අනුෂා දමයන්ති කිව්ව මුලින්ම මතක් වෙන්නේ හිත ආකර්ෂණය කරගන්න ඇයගේ නර්තනයයි. රංගන ශිල්පිනියක් වුණත් ඇය ඊට වඩා නර්තනයට ආදරය කරනවා වගේම දක්ෂයි කිව්වොත් හරි. කලාවට ඇය ආදරය කරන්නේ ප්‍රවීණ රංගන ශිල්පී විජේ කුමාරතුංග නිසා කියලයි ඇය කියන්නේ. එදා හා අද ජීවිතය ගැන පුවත්පතකට කතා කරලා තිබුණා. මේ ඒ ගැනයි.
අනුෂා දමයන්ති අද රටම දන්න රංගන ශිල්පිනියක් වුණත් අතීතය දිහා හැරිල බලද්දි මටත් සුන්දර අතීතයක් තිබුණ නේද කියන හැඟීම නිතරම සිතට එනවා. පුංචිම කාලය රාජගිරියෙ පදිංචිව සිට වයස අවුරුදු 11දි අතුරුගිරියට පදිංචියට යන්න සිදුවුණේ අම්මාගේ අවශ්‍යතාවට.
අතුරුගිරියට පදිංචිය මාරුවීමත් සමග හෝමාගම මහා විද්‍යාලයට ඇතුළත්වුණා. පුංචි කාලෙ ඉඳන්ම සිනමාවට ලොකු කැමැත්තක් මට තිබුණ කියල අම්ම අදත් මතක්කරනව. පොඩි කාලෙ චිත්‍රපටි බලන්න ගියාම කවදාවත් ඉවර වෙනකම් බලන්න හම්බවෙන්නෙ නැතිලු. විජය කුමාරතුංග ඉන්න චිත්‍රපටයක ඔහුට ගහන දර්ශනයක් දැක්කොත් හෝල් එක දෙවනත් වෙන්න අඬනවලු. ඒ තරමට චූටි කාලෙ ඉඳන්ම විජයට ආදරය කර තිබෙනවා.
'දියකාවා' මට කිව්ව අනිත් නම
මගේ පවුලෙ අම්මා ඇරුණම මට ඉන්නෙ අයිය විතරයි. ඔහුත් දැන් විවාහවෙලා වෙනත් පළාතක ජීවත්වන්නෙ. කොහොමටත් ඔහු කුඩා කාලයේ පටන්ම ගුරුතලාවෙ නතරවෙලා ඉගෙනුම ලැබුවා. ඒ නිසා මගේ තනියට අම්මාත් අම්මගෙ තනියට මාත් මිතුරියන් වගේ කල් ගෙවන්නෙ. ඒක එදා වගේම තමයි අදටත්. මට මතකයි පුංචිකාලෙ අම්මව බය කරන්න පුටු සෙටිය යට හැංගෙනවා. දවසක් මට නින්ද ගිහින් දන්නෙම නැතුව. අම්ම හැමතැනම මාව හොයලා අඬ අඬා පොලීසි යන්න හදනකොට සෙටිය යට නින්ද ගිහින් හිටිය මම ඇහැරිලා එළියට ඇවිත්. එදා නම් හොඳටම ගහලා. ඒ වගේම අම්ම එක්ක තරහවෙලා අම්මව බයකරන්න ළිඳට ගල්දාල හැංගිලා ඉන්නව.ඔය වගේ දඟවැඩ කරල ගුටිකාපු වාර අනන්තයි.අපේ ගෙදර හිටිය රෙක්සි කියල බැල්ලියක්.
උගේ පැටවු ටික පෝලිමට නිදිකරනවා, උන්ට කිරි හදල පොවනවා. ඒ විතරක් නෙවෙයි බෝනික්කන් නැළවීමත්, බෝනික්කන් නහවා පවුඩර් දා ලස්සනට ගවුම් අන්දා ඇදේ නිදි කරවනවා. ඒ අතීතය මතක් වෙනකොටත් සතුටුයි. පොඩි කාලෙ ඥාතින් මාව හදුන්වන්නෙ දිය කාව කියල.ඒ කොහේ හරි ට්‍රිප් එකක් ගියොත් වතුර දැක්ක ගමන් නාන්න ලෑස්තිවෙන නිසාලු. වරක් කතරගම ගිහින් හරි කරදරේකට මුහුණ පෑවා.
අපි නැවතුන තානායමේ බාත් රූම් එකට වතුර එන්නෙ ස්වභාවික දිය ඇල්ලකින් පීල්ලක් දිගේ. මම නාමින් සිටින විට එකපාරටම සර්පයකු පීල්ල දිගේ ඇවිත්. තානායම දෙක වෙන්න කෑ ගැහුවා. ඒක නම් හරියට රෙස්ලින් දර්ශනයක් වගේ. කට්ටිය දුවගෙන ඇවිත් ලේ මාපිලෙක් කීවා. වියරු ගැහැනියක් සිනමාපටය රූගත කරද්දි නාගයා, මාපිලා අල්ලන්න තිබුණත් ඒ වෙලාවෙ ලොකු බයක් දැනුනේ නෑ. ඒත් දැන්නම් සර්පයෙක්ගෙ නම ඇහුවත් බය වෙනවා.
මගේ නපුරු කමට පෙම්වතුන් බයවුණා
පාසල් යන කාලෙ මම ටිකක් නපුරුයි. පිරිමි ළමයි කොච්චර පස්සෙන් ආවත් ගණන් ගන්නෙ නෑ. සමහර අය මට බයටම අදහස අතහැරියා. මම ගණන් ඉස්සුවට මගේ යහළුවො තුන් දෙනා මාව යාළුකර දෙන්නම් කියා චොක්ලට්, අයිස්ක්‍රිම් කනවා. එක පාරක් ආදරේ ඉල්ලන්ආපු පිරිමි ළමයෙක් අපේ ස්කූල් බස් එකට නැගලා මගේ යාළුවෙකුට මට දෙන්න කියලා එඩ්ඩ්‍රස් එක දීලා. බස්එක ඉදිරිපිට සිට පිටුපස ඉන්න මගෙ අතට අතින් අත පාස් වෙවි එඩ්ඩ්‍රස් එක ආවා.
මම හරවල ආපසු ඇරියා. ආපහු එව්වා. මේක බලන් ඉන්න අයට හරිම සතුටුයි. බෑ කිව්වත් පස්සෙන්ම එනවා. ඒ කාලෙ ස්කෝලෙන් තැපැල් අයිඩෙන්ටියට ෆොටෝ ගත්ත කාලය. කොහොමහරි මගේ ෆොටෝ එකක් යාළුවෙක් ඒ පිරිමි ළමයට දීලා. දවසක් අම්මත් එක්ක හෝමාගම යනකොට ඒ ළමය අපි දෙන්න ඉන්න තැනට ඇවිත් පොඩිකරපු ෆොටෝ එකක් මගේ අතේ තියල යන්න ගියා. දිග ඇරල බලන කොට මගේ ෆොටෝ එකක්. අම්ම පුදුම වෙලා බලන් ඉඳල මගෙන් ඇසුවා මොකක්ද කියල. පස්සෙ අම්මට තේරුම්කරල දීල යන්තම් බේරුණා.
නොකළ වැරැද්දකට ඇඬුවා
වරක් ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙක් ඩ්‍රාමා එකකට ආරාධනාකර මිල ගණන් ඇසුවා. මම ඔහු සමග වැඩකරන්නට තිබෙන කැමැත්ත නිසාම කැමැති ගණනක් දෙන්න කීවා. ඒ අධ්‍යක්ෂවරයාම පසු කාලෙක තවත් නිර්මාණයක් කළා. ඒකට සම්බන්ධවෙන්න බලාපොරොත්තුවෙන් හිටියත් මට කතාකළේ නෑ. ඔහොම ටික කාලෙකට පස්සෙ සහෝදර රංගන ශිල්පියෙක් ඇමතුමක් දී කීවා මම රූපවාහිනී වැඩසටහනකදි අර අධ්‍යක්ෂකගේ නම කියා ටෙලිඩ්‍රාමා එකකට මට සල්ලි දුන්නේ නෑ කියල කීවද කියා. ඒකට ඔහුට හොඳටම තරහ ගිහින් කීවා. මම පුදුම වුණා මම නොකියපු දෙයක් කොහොමද කිව්ව කියල කියන්නෙ කියලා.
මේ ගැන එම අධ්‍යක්ෂවරයා හමුවී ඇසුවාම ඔහු කීවෙ ඉගෙන ගන්න අනුෂා මේ වෘත්තිය ඇතුළෙ අපි නොදන්න තුන්වැනියෙක් ඉඳගෙන විරසක කරනවා කියා. එදා තමයි වෘත්තිය මට්ටමේදි පළමුවරට ඇඬුවේ. හැබැයි එක දෙයක් තේරුම් ගත්තා දියුණුව බලන් ඉන්න බැරි පිරිසක් මේ වෘත්තිය තුළ සිටනවා එනිසාවෙන් ප්‍රවේශම් වී වැඩකළයුතුය යන්න. ඉන් පසුව නම් මේ වනතුරු රංගන ක්ෂේත්‍රයේදි සිත් රිදවීම් ඇති වී නෑ.
නර්තනය
එක්තරා නර්තන වැඩසටහනකින් අනුෂා රංගන ශිල්පිනියක් කියල ප්‍රේක්ෂකයන් දැන ගත්තත් හොඳ නර්ථන ශිල්පිනියක් කියල දැනගත්තෙ එම වැඩසටහනෙන් පසුවයි. අම්මගෙ බල කිරීමටමයි එම වැඩසටහනට ඉදිරිපත්වුණේ. ඇය මුල ඉඳන්ම කීවෙ ඔයාට පුළුවන් මේ තරගය දිනන්න යන්න කියලා. පස්සෙ මම බැරිම තැන' මම නටන්නම් හැබැයි ඔයා දිනන්න ඕනෑ' කිව්වා.දවසින් දවස s.m.sවලින් තරගය උණුසුම්වෙද්දි මගේ හැකියාවට සාධාරණයක් ඉටු නොවෙයිද කියල බයක් දැනුණා.
එහෙත් අවසානයේ ජයග්‍රහණය කළා. එදා මට වඩා සතුටු මගෙ අම්මාට. ඇයගේ උනන්දුව, උත්සාහය සහ ආශිර්වාදය නොඅඩුව ලැබුණු නිසාත් වාසනාවත් මත ජයග්‍රහණය කරන්න හැකි වුණා. එදා දවස ඒ රාත්‍රිය මේ ජීවිතේට කවදාවත් අමතක වෙන්නෙ නෑ.මම සිනමා නිළියක් කියා ඕනෑම කෙනෙක් මාව හඳුන්වනවාට කැමැතියි.මොකද සිනමාවට ඒ තරමටම මම ආදරය කරන නිසා. සිනමාපට 60ක විතර මේ දක්වා රංගනයෙන් දායක වී තිබෙනවා.
ටෙලි නාට්‍යනම් රඟ පාන්නෙ බොහොම කලාතුරකින්.මම හිතන්නෙ 10ක් පමණ ටෙලි නාට්‍ය රඟ පා තිබන්නෙ.