පුත්තලම - කරුවලගස්වැව පදිංචි එන්.පී.ශිරන්ති සහ එන්.පී.චතුරිකා මධුශාණි උපතින්ම ආබාධිත සහෝදරියන් දෙදෙනෙකි. ශිරන්ති 28වන වියේ පසුවන අතර මධුෂාණි 17 වන වියේ පසුවෙයි.
මේ තරුණියන් දෙදෙනාගේ පියා කවුරුන්ද යන්න නොදන්නා කරුණක් වුවත් උපතින්ම ආබාධිත තත්ත්වයේ සිට ඇති මවද මේ වන විට මිය ගොසිනි.
ශිරන්ති 10 වන වසර දක්වා පාසල් ගොස් ඇති අතර,චතුරිකා 07 වන වසර දක්වා පාසල් ගොස් ඇත.දැන් මේ දෙදෙනාම එකම නිවසක තනිව ජීවත් වේ.
රාජ්‍ය නොවන සංවිධානයක් විසින් ඉදි කර දී ඇති නිවසක මෙම අය පදිංචිව සිටින නමුත් එම ඉඩම අයත් වන්නේද ඔවුන්ගේ ඥාතියෙකුට බව පැවසේ.
එම නිවසද මේ වන විට භාවිතයට නසුදසු තත්ත්වයක ඇති බවක් අපට දැක ගත හැකි විය.තමන්ටම කියා පුංචි ඉඩමක් තිබෙන නමුත් එහි නිවසක් නොමැති බව ඔවුන් කියා සිටිති.
රෝද පුටුවක ආධාරයෙන් ජලය මෙන්ම නිවසට අවශ්‍ය දර ඇතුළු අනෙකුත් දෑ සොයා ගන්නා ආබාධිත ශිරන්ති තමන් වැනිම තත්ත්වයක සිටිනා තම නැගණිය ජීවත් කරන්නට මහත් වෙහෙසක් ගනී.
දැනට සමාජ සේවා දෙපාර්තමේන්තුවෙන් ආබාධිතයින් වෙනුවෙන් ලබා දෙන රුපියල් 3000 ක මුදලින් ආහාර පාන සහ ඇදුම් පැළදුම් මිළදී ගන්නා බව සදහන් කරයි.
කාගේවත් සෙවනක් නොමැතිව ජීවත් වන මෙම තරුණියන්ට තමන්ගේම යැයි කියා නිවසක් ඉදි කර ගැනීම සහ හෙට දිනයේ ජීවිතය ගැට ගසා ගැනීම සිහිනයක් පමණක් බවට පත් වී ඇත්තේ කාගේ අවාසනාවකටද යන්න අප සොයා බැලිය යුතු නොවන්නේද?
ඔවුන්ගේ ඡායාරූප පහතින්...