ඉන්ටපෝල් ලැයිස්තුවට නොදැම්මෙ ඇයි..?
ලංකාවට ගේන වැඩේ පරක්කු කළේ ඇයි..?
සතියකට කලින් දුරකතනවලින් කතා කරලා..
කළුතරදී බන්ධනාගාර බස් රථයට ප්‍රහාරයක් එල්ල කර සමයං නැමැති පාතාල කල්ලි නායකයා ඇතුළු 7 දෙනෙකු ඝාතනය කර ඉන්දියාවට පැන ගොස් සිටියදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් අංගොඩ ලොක්කා සහ ඔහුගේ ගෝලයෙකු වන ‘‘ලඩියා“ මේ වන විට පැන ගොස් ඇති බවට දැඩි සැකයක් මතුව තිබෙනවා.
ඉන්දියාවේ චෙන්නායි හි පිහිටි විශේෂ රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා සිටි ඔවුන් දෙදෙනාට ඇප ලැබීමෙන් පසු ඔවුන් චෙන්නායි නුවර නිදහසේ කාලය ගත කර ඇති බවත් හෙළිව තිබුණා.
ඔවුන් දෙදෙනා ජංගම දුරකතන කිහිපයක් ඔස්සේ මෙරට සිටි සිය සගයන්ටද නිතර කතා කර තිබුණත් මේ වන විට එම දුරකතන සියල්ල අක්‍රීය වී ඇති බවත් දැනගන්නට ලැබෙනවා.
චෙන්නායි හි පිහිටි ශ්‍රි ලංකා මහ කොමසාරිස් කාර්යාලයට අනුයුක්තව සේවයේ නිරත මෙරට ආරක්ෂක අංශ නිලධාරියා ඒ පිළිබඳව සොයා බැලීමක් කරමින් ඉන්දියානු ආරක්ෂක බලධාරීන්ගෙන්ද විමසීමක් කර ඇතත් ‘‘අංගොඩ ලොක්කා සහ “ලඩියා“ පිළිබඳ තොරතුරක් දැනගැනීමට හැකි වී නැහැ.
අංගොඩ ලොක්කා සහ ලඩියා මේ වන විටත් උන්හිටිතැන් වලින් අතුරුදන් වී ඇති බවයි වැඩිදුරටත් දැනගන්නට ලැබෙන්නේ.
අංගොඩ ලොක්කා සහ ලඩියා මෙරටට ගෙන්වා ගැනීමට හැකිවන පරිදි රාජ්‍ය තාන්ත්‍රික මැදිහත් වීමක් සිදු නොවීම මෙවැනි තත්ත්වයක් ඇතිවීමට මුල්වී ඇති බවයි පොලිසියේ උසස් නිලධාරියෙකු පැවසුවේ.
කලුතර ප්‍රහාරය සිදුවී මාස 6 කට වැඩි කාලයක් ගතවී ඇතත් එහි මහ මොළකරුවන් ලෙස සැලකෙන අංගොඩ ලොක්කා සහ මාකඳුරේ මධූෂ් යන දෙදෙනාට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදනයක් නිකුත් කරන්නට අපොහොසත් වී ඇති බවද එම නිලධාරියා සඳහන් කළා.
සමයං ඝාතනයෙන් පසු බෝට්ටුවකින් ඉන්දියාවට පැනගත් අංගොඩ ලොක්කාත් ලඩියාත් පසුගිය මැයි 20 වැනිදා ඉන්දියාවෙන් ඩුබායි වෙත පැන ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදීයි ඉන්දිය ආරක්ෂක අංශ ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණේ.