"මට නැහැ එළිය ලොවේ.. අම්මා නොමැත මගේ"
"පොලිසියේ මාමලාට පිං සිද්දවෙන්න අද මම ගෙයක ඉන්නවා"
දියණිය කුඩා කාලයේම මව වෙනත් විවාහයක් කරගෙන ගිහින්...
ගමට පොලිසිය වැඩසටහන යටතේ දඹුල්ල මුලස්ඨාන පොලිසිය මගින් දඹුල්ල පොහොරන්වැව ප්‍රදේශයේ අසරණව සිටි දියණියකට හා පියෙකුට අංගසම්පුර්ණ නිවසක් සාදා භාරදීම පසුගියදා සිදු කෙරුනා.
මෙලෙස නව නිවසක් හිමි වුනේ ඩී .එච් . සසිනි හංසනී මදුශානි නමැති 16 හැවිරිදි පාසල් සිසුවියට හා ඇගේ පියා වන ඩී .එච් .ප්‍රේමරත්න යන දෙදෙනාටයි .
මේ දියණිය කුඩා කාලයේම ඇයගේ මව වෙනත් විවාහයක් කරගෙන පිටව ගොස් ඇති අතර එදා සිට කුඩා නිවසක සිය පියා කුලී වැඩ කරමින් මේ දියණිය තම ඇස්දෙක මෙන් රැකබලා ගනිමින් පාසල් යවා උගන්වා පිය සෙනෙහසත් මව් සෙනෙහසත් ඇයට ලබාදී තිබෙනවා .
ගම්මානයේ සියලු දෙනා මෙම පියා ගැන ආඩම්බරයෙන් කතා කරන්නට වුයේ දියණිය රැකබලා ගන්නා ආකාරයත් ඇයට ලබාදෙන රැකවරණයත් නිසාවෙනුයි .
මේ පවුල පිලිබදව ප්‍රජා පොලිස් ඒකකය මගින් දඹුල්ල මුලස්ඨාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතාට දැනුම්දී පසුව මේ දෙදෙනාගේ සිහිනයක් වූ නිවාසය හිමිකර දීමට දඹුල්ල පොලිසියේ නිලදරුවන් සමත් වුණා.
මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අයි .බී .ටි .සුගතපාල, දඹුල්ල සහකාර පොලිස් අධිකාරි ගාමිණි මිගහකුබුර යන නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් නිවාස භාරදීම සිදුකෙරුණා.