දින 25 ක කාලයක් තම නිවසින් අතුරුදහන්වී සිටි තරුණයෙකුගේ මළ සිරුරක් කැළැබද ප්‍රදේශයක ගසක එල්ලෙමින් තිබියදී සොයා ගැනීමට පොලීසිය සමත්වී ඇත. මිය ගොස් ඇත්තේ මාදම්පේ - පූක්කුලම පදිංචිව සිටි සී.පී.චතුර විදුරංග (අවු:25) නම්වූ තරුණයෙකි.
සහෝදරියකට සහ සහෝදරයෙකුට වැඩිමලා වූ මිය ගොස් ඇති තරුණයා සිවිල් ඉංජිනේරු විද්‍යාව සම්බන්ධයෙන් පාඨමාලාවක් හදාරා මාදම්පේ ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක සේවය කර ඇත.
මාදම්පේ ප්‍රදේශයේ තරුණියක සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් ඇති මොහු පසුව එම සම්බන්ධතාවය පිළිබදව දැඩි කළකිරීමකින් සිට ඇති බවද මව්පියන් කියති.තම පෙම්වතිය වෙනත් තරුණයෙකු සමග ප්‍රසිද්ධියේ සම්බන්ධතා පවත්වන බව දැනගෙන ඇති ඔහු ඒ සම්බන්ධයෙන් අදාල තරුණයා සහ තම පෙම්වතිය සමග ආරවුලක්ද ඇති කරගෙන තිබී ඇත.
මේ අතර පසුගිය මස 31 වැනිදා සිට මොහු අතුරුදහන්වී ඇති අතර මේ සම්බන්ධයෙන් මව්පියන් සොයා බලා ඇතත් කිසිදු තොරතුරුක් දැන ගන්නට ලැබී නැත.
මිය ගොස් ඇති තරුණයාගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් ඔහුගේ මව්පියන් විසින් කර ඇති පැමිණිල්ලට අනුව ප්‍රකාශයක් ලබා ගැනීම සදහා ඔහුගේ පෙම්වතියට පොලීසියෙන් කැදවීමක් කර ඇත.එම කැදවීමෙන් පසුව තරුණිය වස පානය කර ඇති බවටද වාර්තා වේ.
මේ අතර ඉකුත් 25 වැනිදා පනිරෙන්දාව රක්ෂිත වනාන්තරය තුළ නිරීක්ෂණ කටයුතු වන නිරත වෙමින් සිට ඇති වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට හිමිකරුවෙකු නොමැති බෑගයක් හමුවී ඇත.
පරිඝණක බෑගයක් වන එහි තිබී හමුවී ඇති පසුම්බියක් වන සංරක්ෂණ නිලධාරීන් විසින් මාදම්පේ පොලීසිය බාරයට පත් කර ඇත.එම පසුම්බියේ තිබී ඇති හැදුණුම්පත අතුරුදහන්වී ඇති තරුණයාගේ බවට පොලීසිය විසින් තහවුරු කර ගැනීමෙන් පසුව මේ බව ඔවුන්ගේ දෙමව්පියන්ට දන්වා ඇත.ඒ අනුව පොලීසිය,වන සංරක්ෂණ නිලධාරීන්,අතුරුදහන්වී ඇති තරුණයාගේ මව්පියන් මෙන්ම අවට ගම්වාසීන්ද පනිරෙන්දාව වනාන්තරය පීරමින් තරුණයා සම්බන්ධයෙන් සොයා බලා ඇත.
එසේ සොයා යමින් සිටි එක් අයෙකුට ගසක එල්ලෙමින් තිබූ තරුණයාගේ සිරුර දැක ගැනීමට හැකිවී ඇත. මෙම මරණය අභිරහසක් වන බව මාදම්පේ පොලිසිය සඳහන් කරයි.