චන්දන ලියනආරච්චි කියන්නේ අනූව දශකයේ අගභාගයේදී අතිශයින් ජනාදරයට පත් වූ ගායකයෙක්. පසුගිය කාලය පුරාවටම ඔහුගේ ගීත අහන්න ලැබුණේ නැහැ. ඔහුත් එක්ක අලුත් තොරතුරු ගැන පුවත්පතක් මේ විදිහට කතා කරලා තිබුණා.මේ ඒ ගැනයි.
ඔබේ සංගීත දිවියේ ඇරැඹුම ගැන මුලින්ම කතා කරමු?
පුංචි කාලෙ ඉඳල සංගීතයට ආසාවක් මගේ හිතේ තිබුණා. පාසලේ තුන වසරේ ඉන්නකොට තමයි මම මුලින්ම වේදිකාවක ඉඳන් ගීතයක් ගායනා කළේ. ඒ වගේම පාසලේදී මම සංගීතය විෂයක් හැටියටත් හැදෑරුවා.
ඔබ ගායන ක්ෂේත්රයට අවතීර්ණ වෙන්නෙත් ලොකු හැදෑරීමක් ඇතිව නේද?
මම පාසලේදී උසස් පෙළ හැදෑරුවට පස්සේ ජාතික තරුණ සේවා සභාවට සම්බන්ධ වුණා. එහි 'බෙල්වුඩ්' සංගීත නිකේතනයේ තුන් අවුරුදු ඩිප්ලෝමාව හැදෑරුවා. අනතුරුව විශාරද නිහාල් ගම්හේවා ගුරුතුමා යටතේ සංගීත විශාරද විභාගයටත් හැදෑරීම් කළා. බෙල්වුඩ් සංගීත නිකේතනයේ අවසාන වසරේ මගේ මුල්ම ගීත එකතුව කළා. ඒක පිටවුණාට පසුව 'පොල්රුප්පාවේ', 'සිත පරව ගියා' වගේ ගීත ජනප්‍රිය වුණා. ඒ කාලේ ලොකු තරගකාරිත්වයකුත් තිබුණා ක්ෂේත්රයට එන්න. එවැනි වටපිටාවක් තුළින් තමයි මම මේ ක්ෂේත්රයට යොමු වුණේ.
බොහෝ ගුවන්විදුලි නාළිකාවල තවමත් ප්‍රචාරය වෙන්නෙ ඔබේ පරණ ගීතමයි. පරණ සින්දුම නිතර නිතර ඇහෙන්නේ අලුත් ගීත නැති අඩුව නිසාද?
අලුත් ගීත කීපයක්ම මේ වෙනකොට මම එකතු කරගෙන යනවා. කීපයක් පටිගත කිරීම් කරලත් තියනවා. ඒවා ගීත එකතුවක් විදියටත් එළිදක්වන්න මගෙ බලාපොරොත්තුවක් තියනවා. මගෙ හිත සුව පිණිසත් මගේ රසික රසිකාවියන් වෙනුවෙනුත් යමක් කළ යුතුයි කියන අදහසිනුත් මම ඒ වැඩකටයුතු කරගෙන යනවා.
ගීතයක් ඇහුණු පමණින් එය රසිකයන් වැලඳ ගන්නේ නැහැ. නමුත් ඔබේ ගීත බොහෝම ආදරයෙන් රසිකයන් වැලඳ ගත්තා. රසිකයන් ඔබේ ගීත වැලඳ ගැනීමේ විශේෂත්වය කුමක්ද කියලා ඔබට දැනිලා තියෙනවද?
විශේෂයෙන්ම අපි ප්‍රේම ගීත ගායනා කරනවිට ඒවා රසික හදවතට දැනෙන විදියට ගායනා කළ යුතුයි. ප්‍රේම ගීත, විරහ ගීත අසන්නාගේ හදවත සුවපත් කරන අයුරින්, හදවතේ සියුම් තැන් ස්පර්ශ වන ලෙසින් ගායනා කරනවා නම් තමයි ගායකයා සාර්ථක ගායකයෙක් බවට පත් වෙන්නෙ.
ඔබේ ගීත රසිකයන් අතරට ගෙනියන්න ගායනය වගේම ඒ ගීතවල පද රචනාවත් සංගීතයත් වැදගත් වුණා නේද?
මගේ සංගීත ගුරුතුමා අතින් ලියවුණු සහ සංගීතවත් වුණු ගීත තමයි මම මුලින් ගායනා කළේ. අනතුරුව තුන්වන නිර්මාණ එකතුවේදී මට අවස්ථාව ලැබුණා ලංකාවේ ප්‍රවීණ ගී පද රචකයන් සහ සංගීතවේදීන්ගේ ගීපදවල දායකත්වය මගේ නිර්මාණවලට ලබා ගන්න. එහිදී මතක් කළ යුතුමයි යමුනා මාලනී, රත්න ශ්‍රී විජේසිංහ, රංජිත් අබේසුන්දර, රෝහණ වීරසිංහ, එච්.එම්. ජයවර්ධන වගේ ප්‍රවීණයන්ගෙන් ලැබුණු දායකත්වය. ඒ කාලේ අපි වගේ ආධුනිකයන්ට එය ඉතාමත් වටිනා දෙයක් වුණා.
එවැනි සුවිශේෂී පද රචනා ඔබ අනාගතයේදී එළියට ගේන නිර්මාණවලත් දකින්න ලැබෙයිද?
මම දැන් කරගෙන යන ගීත එකතුවේදී විශේෂයෙන් ගීපද රචනා පිළිබඳව වැඩි අවධානයක් යොමු කරනවා. දැනට 'මවුගුණ ගීතයකුත්' කරලා තියනවා. ප්‍රවීණ ගී පද රචකයන්ගේ වගේම ආධුනික ඉතා දක්ෂ ගී පද රචකයන්ගේ දායකත්වය මගේ එම නව නිර්මාණ සඳහා යොදාගෙන තියෙනවා.
ඔබ ක්ෂේත්රයට ඇවිත් කාලයක් ගතවුණත් ඔබ අදටත් රසිකයන් ආදරය කරන ගායකයෙක්. මේ ජනප්‍රියත්වය ඒකාකාරීව පවත්වාගෙන යන එක ටිකක් අමාරු දෙයක් නේද?
ජනප්‍රියත්වය කියන්නෙ අතින් අත යන කිරුළක් වැනි දෙයක්. එය එක ලෙස පවතින දෙයක් නොවෙයි. කොතරම් ගායන ශිල්පීන් කරළියට ආවත් මා මෙතෙක් කළ නිර්මාණ එක්ක, මාත් එක්ක එදා ඉඳන් හිටිය රසික පිරිසක් අදටත් මාත් එක්ක ඉන්නවා. නමුත් තරගකාරි මානසිකත්වයක් මා තුළ නැහැ. මගේ නිර්මාණවලට කැමැති, අලුත් නිර්මාණයන් බලාපොරොත්තුවෙන් ඉන්න මගේ රසික රසිකාවියන්ට ඔවුන්ගේ හදවතට දැනෙන ආකාරයේ හොඳ නිර්මාණ කරමින් ඉදිරි ගමනක් යන එක තමා මගේ බලාපොරොත්තුව.
මේ වෙද්දි ප්‍රසංග වේදිකාවේ ඔබට වෙන්වෙලා තිබෙන ඉඩ ගැන සතුටුද?
පැහැදිලිවම සතුටුයි. මගේ ජනප්‍රියත්වය අඩුවෙලා නැහැ. දවසකට ප්‍රසංග කීපයකම මම සින්දු කියනවා. මේ වන තෙක්ම ප්‍රසංග වේදිකාව තුළ මට හොඳ ප්‍රතිචාර ලැබුණා. ඉදිරියටත් හොඳ ප්‍රතිචාර ලැබෙයි කියලා හිතනවා.
අද බොහෝ ගායක ගායිකාවන් රූප රචනා තුළින් තමයි තම ජනප්‍රියත්වය හදා ගන්නෙ. රූප රචනා භාවිතයට ඔබත් දැන් අනුගතවෙලා නේද?
අද පවතින තරගකාරිත්වයත් එක්ක නම් රූප රචනා භාවිතය අනිවාර්ය වෙනවා. වර්තමානය තුළ පවතින තාක්ෂණික දියුණුවත් සමඟ මගේ නව නිර්මාණවලටත් රූප රචනා යොදාගෙන තියෙනවා. ඒ අනුව රූප රචනා භාවිතය වරදක් හැටියට නම් මම දකින්නේ නැහැ. නමුත් රූප රචනා භාවිතයේදී ගීතය සහ රූප රචනාව තුළ හොඳ ගැළපීමක් තිබිය යුතුයි. ඒ අනුව ගීතයට ගැළපෙන ආකාරයේ කලාත්මක, හරවත් රූප රචනා භාවිත කිරීමට නිර්මාණකරුවා වගබලා ගත යුතුයි.
නවක ශිල්පීන් ප්‍රවීණයන්ගෙ ගීත ගායනා කරනවා. ප්‍රවීණයන්ගෙ ගීතවලට අමුතු අමුතු වැඩකෑලි දාලා විනාශ කරනවා කියලා චෝදනා තියෙනවා. ඔබ කැමැතිද ඔබේ ගීත නවකයන් ගායනා කරනවට?
මගේ ගීත කවුරුහරි ගායනා කළා කියලා එහි වරදක් මම දකින්නෙ නැහැ. ඒ වගේම ප්‍රසංග වේදිකාව තුළ මගේ ගීත කවුරුහරි ගායනා කරනව නම් මම ඒ ගැන නිහතමානීව සතුටු වෙනවා. නමුත් කවුරුන් හරි මගේ ගීත මුදල් ඉපයීමේ අරමුණින් ගායනා කරනව නම්, රිගින් ටෝන් විදියට යොදා ගන්නවා නම් සංයුක්ත තැටිවලට ගයනවා නම් ඒක වැරැදියි.
ප්‍රවීණයෙක් විදියට දැන් ක්ෂේත්රයේ ඉන්න නවක පරපුර ගැන, සංගීත ක්ෂේත්රයේ අනාගතය ගැන මොන වගේ අදහසක්ද ඔබට තියෙන්නෙ?
මේ වෙනකොට ලංකාව තුළ ඉතා දක්ෂ නව පරපුරක් ඉන්නවා. ගායන ශිල්පීන් ගත්තත්, වාදන ශිල්පීන් ගත්තත් අගය කළ යුතු හැකියාවන් ඔවුන් තුළ තියෙනවා. ඒ ගැන මම පෞද්ගලිකව සතුටු වෙනවා. ඒ වගේම හොඳ ගී පද රචනා තෝරගෙන, රූප රචනා භාවිතය පිළිබඳත් වැඩි සැලකිල්ලක් දක්වමින් රසිකයන්ට විඳින්න පුළුවන් ආකාරයේ, හරවත්, ගුණාත්මක බවින් පිරුණු ගීත සම්ප්රදායක් ඉදිරියේදී ලංකාවේ සංගීත ක්ෂේත්රය තුළ බිහිවෙනවා නම් ඒ ගැන මම සතුටු වෙනවා.
කලාකරුවකුට තම පවුලෙන් ලැබෙන සහයෝගය ඉතාම වටින දෙයක්. ඔබටත් ඒ සහයෝගය නොඅඩුව ලැබුණද?
ඇත්තටම ඔව්. මට ආදරණීය බිරියක් සහ පුතෙක් ඉන්නවා. පුතාට අවුරුදු හතරයි. මගේ ආදරණීය බිරිය වගේම සහෝදර සහෝදරියනුත් මගේ වැඩකටයුතුවලට ලොකු දායකත්වයක් ලබා දෙනවා. ඒ වගේම මගේ අම්මයි, තාත්තයි මගේ ගමනට ලොකු පිටිවහලක් වුණා. තාත්තා දැනට ජීවතුන් අතර නැතත් මට ගොඩක් මේ ගමන එන්න ඔහු උදවු කළා. ඒ අනුව මගේ ගමනට පවුලෙන් ලැබෙන සහයෝගය ගැන මම සතුටු වෙනවා.