ලබන දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට අපේක්‍ෂාවෙන් සිටි 15 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් අතුරුදන්වූ පුවතක් අනුරාධපුරයට නුදුරු පාලාඩිකුලමින් වාර්තාවනවා.
ඇගේ නම සචිනි නිමාෂා ප්‍රේමතිලකයි. අනුරාධපුර නගරයට නුදුරු පාලාඩිකුලමේ පදිංචි ඇය පවුලේ එකම දරුවායි. අධ්‍යාපනය ලැබුවේ අනුරාධපුර, සුචරිතගම විද්‍යාලයේ එකොළොස් වැනි වසරේ.
ඉකුත් 02 වැනිදා සවස 5.45ට පමණ නිවෙසේ සිට මීටර් හත්සිය පනහක් පමණ දුරින් පිහිටි පෞද්ගලික උපකාරක පන්තියට ගියමුත් ඇය උපකාරක පන්තියට ගොස් නොමැති බව දැන ගන්නේ එම පන්තියේ පැවැත්වෙන නිවෙසේ කාන්තාවක් විසින් දුරකතන ඇමතුමක් ලබා ගෙන සචිනිගේ මවගෙන් ඒ ගැන විමසන විටයි.
පසුව කලබලයට පත් සචිනිගේ මව සහ පියා අසල්වාසීන්ද සමඟ සචිනි සොයන්නට ගියත් සචිනි පිළිබඳ කිසිඳු හෝඩුවාවක් දැන ගැනීමට නොහැකි වී තිබෙනවා.
තවදුරටත් කළ සොයා බැලීමේදී ඇගේ පාපැදිය නිවෙසට මඳක් දුරින් මාර්ගයේ තිබී හමුවී තිබෙනවා.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් සචිනිගේ මව මාලනී මහත්මිය සති අන්ත පුවත්පතකට මෙලෙස විස්තර කර තිබෙනවා.
"දුව පසුගිය 04 වැනිදා සවස අපේ ගෙදර ඉඳලා මීටර් හත්සිය පනහක් පමණ දුරින් පිහිටි ගෙදරක අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගෙන පැවැත්වෙන ගණිත පන්තියට බසියිකලයෙන් ගියා. ඒ පන්තිය තිබෙන්නේ ගම ඇතුළෙමයි. සවස 6.00ට පන්තිය පටන් ගන්න නිසා හැමදාම දුව සවස 5.45ට පමණ ගෙදරින් පිටවෙලා යනවා. එදත් සවස 5.45ට පමණ දුව ගෙදරින් පිටවෙලා ගියේ. එයා එහෙම නැතිව ඊට පෙර කල් ඇතිව කවදාවත් යන්නෙ නෑ. දුව හැමදාම හරියටම ඒ වෙලාවට යන්නෙ සවස 6.00 වන විට පන්තියට යන්න බලාගෙන. ඊට පසු පන්තිය ඇරෙන කොට රෑ 8.30 පමණ වෙනවා.
එම නිසා මම හැමදාම රෑට පන්තිය ඇරුණම දුවව එක්ක ගෙන එන්න සැමියාව යවනවා. දුව පන්තියට ඇතුළත් කර මාසයකුත් සති දෙකයි ගත වෙලා තිබුණේ. මට දරුවෝ මහ ගොඩක් නෑ. එක දරුවයි ඉන්නේ. මට එදා සවස 6.20ට පමණ උපකාරක පන්තිය පවත්වන අය කෝල් එකක් ගෙන දුව පන්තියට නොපැමිණි බව කිව්වා. ඊට පසු මම සැමියාට කිව්වා දුව පන්තියට ගිහින් නෑ කියලා පණිවුඩයක් ආවා ඉක්මනට ගිහින් සොයා බලන්න කියලා. මමත් ඒ සමඟ ගියා. නමුත් දුව සොයා ගන්න නොහැකි වුණා.
මම ඊට පසු මේ පිළිබඳ පැමිණිලි කිරීමට අනුරාධපුර පොලිසියට ගියා. එහි ගිය වෙලාවේ පොලිසියේ නිලධාරීන් කිව්වා පැමිණිල්ලක් අවශ්‍ය නෑ තවදුරටත් සොයා බලා පසුව ඇවිත් පැමිණිල්ලක් දාන්න කියලා. මම ඊට පසු කිව්වා එහෙම බෑ මට පැමිණිල්ලක් දාන්න ඕන කියලා. අනතුරුව පැමිණිල්ල ලියාගෙන මට කිව්වා දුව ගැන මොනව හරි ආරංචියක් ලැබුණොත් පොලිසියට දැනුම් දෙන්න කියලා. පොලිසිය මම ඉදිරිපත් කළ පැමිණිල්ල ගැන විභාග කිරීමට අපේ ගෙදරට ආව.
ඊට පස්සේ 03 වැනිදා සවස 3.30ට විතර මට කෝල් එකක් ආව. මම ෆෝන් එක උස්සන කොට 'අම්මේ' කිව්වා. ඊට පස්සේ මම ඇහුවා මොකක්ද දරුවෝ කළේ' ඔයා කොහෙද ඉන්නේ කියලා. එතකොට දුව කිව්වා 'අම්මේ මම මීගමුවේ ඉන්නෙ' කියලා. පසුව මම ඇහුවා ඔයා ඔච්චර දුර යන්න දන්නේ නැතිව කොහොමද ගියේ කියලා. ඒ එක්කම දුව අසල සිටි කවුරුන් හෝ ෆෝන් එක ගන්නව වගේ දැනුණා. ඊට පසු දුවගෙන් ප්‍රතිචාරයක් ලැබුණේ නෑ. ඊට පසු ගෑනු කෙනෙක් කතා කර කිව්වා මම බස් ස්ටෑන්ඩ් එකේ සිටියදී මේ ගැනූ ළමය හමුවුණේ කියලා.
මම ඊට පස්සේ ඔයා මගේ දරුවා එහෙම එක්කන් ගියේ කොහොමද කියලා ඇහුවා. දරුවා බස් ස්ටෑන්ඩ් එකේදී හමුවුණා නම් ඒ බව පොලිසියට කියන්න හෝ දුව ගෙදර ටෙලිෆෝන් අංකය දන්නව ඒ අංකයට ඇමතුමක් ලබා දී අපට දැනුම් දෙන්න තිබුණේ කියලා මම කෑ ගැහුවා. එතකොට මට වේදනාව වැඩිකමට කතා කරන්න බැරි වුණා.
ඊට පසු එහා ගෙදර නංගි කෝල් එකක් අරගෙන කතා කර තිබුණා. එතකොට දුව කියා තිබුණා නැන්දේ මම තනිවම ආවේ. බය වෙන්න එපා කියලා. ඊට පසු මම නැවතත් දුව ඇමතුම් ලබා ගත් දුරකතන අංකයට ඇමතුමක් ලබා ගත්තත් ඊට ප්‍රතිචාරයක් ලැබුණේ නෑ. එම අවස්ථාවේ නංගි ඇවිත් දුව කතා කළ දුරකතනයේ අංකයට ඇමතුමක් ගෙන කතා කළාම ඒ අය දුව අපට ආපසු දෙන්න නම් මේ බව පොලිසියට කියන්න එපා' කියලා කිව්වා. මේ ගැන පොලිසියට හෝ වෙන කාටවත් කිව්වොත් ළමයව එළියට දානව කිව්වා.
පසුව අපි එදා රාත්‍රියේ පොලිසියට ගොස් දුව ඇමතුම ලබා ගත් දුරකතනයෙ අංකය පොලිසියට ලබා දුන්නා. අපි පොලිසියට යන අතරෙ මගේ නංගිගෙ පුතා විටින් විට ඇමතුම් ලබාගෙන කතා කරන කොට 'අයියෙ මම තනිවම ආවේ' කියලා දුව කිව්වා. ඉන් පසු ගෑනු කෙනා කතා කර 'ළමයව අපි දෙන්නෙ නෑ. එළියට දාන්නෙත් නෑ' කියලා ගෑනු කෙනා කියලා තිබුණා. අපි පොලිසියට ඒ දුරකතන අංකය දුන්න අවස්ථාවේ ඉඳලා ඒක වැඩ කරන්නෙ නෑ. ඒ මිනිස්සු කතා කළෙත් නෑ.
මගේ දරුවා කිසි දිනක තනිවම ගමෙන් පිට ගිහින් නෑ. ගම ඇතුළෙමයි හැදුණේ. කොහේ හරි ගියත් යන්නේ මාත් සමඟයි. දුවට වයස අවුරුදු පහළොවක් වුණාට අවුරුදු දහ අටක දහ නවයක පෙනුම තිබුණා. මගේ දුව මේ අවුරුද්දේ දෙසැම්බර්වල සාමාන්‍ය පෙළ විභාගයට ලියන්න හිටියෙ. දුව ඉගෙන ගැනීමට සාමාන්‍යයෙන් දක්‍ෂයි. දුව ගණන් අමාරුයි කියලා ඔය සවස පන්තියට යන්න ලෑස්ති වුණේ. අනෙක් විෂයන් පුළුවන් කියලා කිව්වෙ.
එදා ඉඳලා දවසට දෙතුන් වතාවක් පොලිසියට යනව. දුව ගැන තවම තොරතුරක් දැන ගැනීමට නෑ. පොලිසිය අපට අද එන්න හෙට එන්න කියනව. දුව ඉන්න තැන අපි අංජනම් එළි බලල ඉන්න තැන කියන්න කියලද, එහෙම නැත්නම් අපි සීනු හොලව හොලව හොයන්නද කියලා පොලිසියේ සමහර නිලධාරීන් අහනවා. දුව ගැන සොයා බලන්න නිලධාරියෙක් පිටත් කර යැව්ව කියනව ඇරෙන්න මේ වෙනතුරු දුව ඉන්න තැනක් ගැන දැන ගැනීමට නෑ.
මගේ නංගිලා ඊට පසුව පොලිස්පතිතුමාගේ දුරකතන අංකය හොයාගෙන එතුමාට පැමිණිලි කර තිබුණා. ඒ අනුව අනුරාධපුර පොලිස් අධිකාරි කාර්යාලයේ ලොකු මහත්තයෙක් අනුරාධපුර පොලිසියට උපදෙස් දීමෙන් පස්සේ දුවගෙ අතුරුදන්වීම ගැන අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙන බව දැන ගන්නට ලැබුණා.
දුව කවුරුන් හෝ සමඟින් ප්‍රේම සම්බන්ධයක් තිබෙන බව දැන ගන්න තිබුණේ නෑ. නමුත් දුව මීට අවුරුදු දෙකකට පමණ පෙර තරුණයකු සමඟ ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් තිබුණා. මගේ සහෝදර සහෝදරියන්ගේ දරුවෝ කතා බහ කරලා එක ලියුමෙන්ම ඒ සම්බන්ධය අත හැරියා. දුවගේ ඉස්කෝලේ පන්තියේ ළමයින්ගෙන් මෑත කාලයේ එහෙම සම්බන්ධයක් තිබුණද කියල අහන කොට කිව්වේ එහෙම දෙයක් තිබූ බව දන්නේ නෑ කියලා. දුව කිව්වේ මම ප්‍රේම සම්බන්ධකම් පවත්වන්නේ නෑ. කොහොම හරි ඉගෙන ගන්න ඕන කියලා තමයි නිතරම කිව්වෙ. නමුත් හිත ඇතුළේ මොනවා තිබ්බද අපි දන්නේ නෑ.
අපි ගොවිතැන් කර ජීවත් වෙන්නෙ. සචිනි දුවගේ තාත්තත් වකුගඩු රෝගියෙක්. එයා මේ ළඟකදී ඉඳලා තමයි ඔය වැඩකටවත් යන්නෙ. අපි අහිංසකයි. අපි ගැන අනුකම්පා කර මගේ දුව සොයා දෙන්න කියලා අපි ඉල්ලා සිටින්නෙ."
මේ පිළිබඳව අනුරාධපුර පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කටයුතු කාර්යාංශයේ නිලධාරියකුගෙන් කළ විමසීමකදී පවසා ඇත්තේ එම දැරියගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කොට ඇය අතුරුදන්වීමෙන් පසු ඇමතුම් ලබාගත් ජංගම දුරකතන හිමිකාරීත්වය තහවුරු කර ගැනීම සඳහා අදාළ දුරකතන සමාගමෙන් අධිකරණ නියෝගයක් මත දුරකතන විශ්ලේෂණ වාර්තාවක් කැඳවීමට පියවර ගෙන ඇති බවයි.
එම වාර්තාව ලද වහාම ඉදිරි පරීක්‍ෂණ කටයුතු සිදු කර දැරිය සහ ඇය රඳවා තබා ගෙන සිටින පුද්ගලයන් සොයා ගැනීමට පියවර ගන්නා බවත් එම නිලධාරියා ප්‍රකාශ කර තිබෙනවා.