දෙමාපියන් දරුවන් ගැන විමසිලිමත් නොවීම නිසා පසුගිය කාලය පුරාවටම සිදුවූ විපත් පිළිබඳ අපට අහන්න දකින්න ලැබුණා.
පසුගියදාත් එවැනි අවාසනාවන්ත පුවතක් අසන්නට ලැබුණේ කහටගස්දිගිලිය ප්රදේශයෙන්.
ඒ පේර කඩන්නට ගිය දරුවෙකු පේර ගසකින් ඇද වැටී එහි අතු දෙකකට ගෙල සිරවී මිය යාමේ පුවතයි.
කහටගස්දිගිලිය රන්පත්විල ඇල්ලවැව ගම්මානයේ පදිංචිව සිටි දෙනෙත් ඉඳුවර නමැති 9 හැවිරිදි දරුවෙකුයි මේ අවාසනාවන්ත ඉරණමට ලක්ව තිබෙන්නේ.
දරුවා පාසල් ඇරී නිවසට ආ පසුව වෙනදා මෙන් පුරුද්දට වත්ත පහළ ඇවිදීම ගස්වලින් ගෙඩා කඩා කෑම සිදු කර තිබුණ බවත් ඔහු ගැන විශේෂයෙන් සොයා බලන්නට උනන්දු නොවුණ දෙමාපියන් හේනේ වැඩට ගොස් තිබුණ බවත් දැනගන්නට ලැබෙන අතර ඔහු තනිව පේර ගසක නැග ගෙඩි කඩන්නට ගිය අවස්ථාවේ මේ අනතුර සිදුව තිබුණා.
දරුවා පේර ගසට නැගී ගෙඩි කඩනා අවස්ථාවේදී ඔහුගේ පය ලිස්සා ගසේ අතු දෙකක් අතර කොටසක ඔහුගේ ගෙල සිරවීමෙන් මේ මරණය සිදුව ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.
ඒ කෙසේ වෙතත් දරුවා අනතුරට ලක්ව සිටින ආකාරය නිවැසියන් දැක තිබුණේ ටික වේලාවකට පසුවයි. ඒ මොහොතේ වහා ක්රියාත්මක වූ අසල්වැසියන් දරුවාව කහටගස්දිගිලිය රෝහලට ඇතුළත් කළද ඒ වන විටත් ඔහු අවසානාවන්ත ලෙස මියගොස් තිබුණා.