සරලා කාරියවසම් කියන්නේ ප්‍රථම නිර්මාණයෙන්ම ජාත්‍යන්තරයට ගිය ළමා නිලියක්. ඒ චිත්‍රපටය නිසා ඇය හොඳම ළමා නිළිය ලෙසින් අන්තර්ජාතික සම්මානයක් පවා ලබා ගත්තා. නමුත් සරලාව ඉන් පසුව දකින්න ලැබුණේ ඉඩහිටලයි. අවුරුදු දොළහකට පස්සේ ඇය පුවත්පතකට මේ විදිහට අලුත් තොරතුරු කතා කරලා තිබුණා. මේ ඒ ගැනයි.
වෝටර් චිත්‍රපටයේ රඟපාලා හොඳම ළමා නිළිය විදිහට අන්තර්ජාතික සම්මාන පවා දිනා ගත් සරලා අද කෝ?
මම හොඳින් ඉන්නවා.
සරලාට දැන් රඟපෑම එපා වෙලාද?
එහෙම දෙයක් නෑ. හැබැයි මෑතකදී නම් කිසිම නිර්මාණයකට රංගනයෙන් දායක වුණේ නැහැ.
ඇයි ඒ විදිහට දැන් කලාවෙන් ඈත්වෙලා ඉන්නේ?
කාලයක් මට මගේ අධ්‍යාපන කටයුතුවලට ප්‍රමුඛත්වය දෙන්න සිදු වුණා. ව්‍යාපාර කළමනාකරණ අංශයෙන් උපාධියක් ලබාගෙන මම දැන් නාවික ක්ෂේත්‍රයේ රැකියාවක් කරනවා. ඒ කාර්යබහුලත්වයත් මගේ නිහඬ බවට හේතුවක් වුණා. හැබැයි ඒ නිසා විතරක්ම නෙවෙයි මම දැන් කලාවෙන් ඈත්වෙලා ඉන්නේ.
මොනවාද ඒ අනෙක් හේතු?
මම ලොකුකමකට කියනවා නෙවෙයි. මට ලැබෙන නිර්මාණ හොඳට තෝරා බේරා ගෙනයි මම බාරගන්නේ. මම බලාපොරොත්තු වෙන විදියේ නිර්මාණ මෑතකදී මට ලැබුණේ නැහැ.
මොන විදිහේ නිර්මාණද ඔබ බලාපොරොත්තු වෙන්නේ?
“වෝටර්” චිත්‍රපටයට දායක වුණු කාලේ් නම් මට රඟපෑමට ගොඩක් ආරාධනා ලැබුණා. පසුකාලීනව ඒ තරමටම ආරාධනා ලැබුණේ නැහැ. හැබැයි දැන් නිර්මාණය වන හුඟක් ටෙලි නාට්‍යවල ගුණාත්මක බවේ අඩුපාඩු මම දැකපු නිසා මම හිතා ගත්තා ප්‍රමිතියකට අනුව නිර්මාණය නොවන ටෙලි නාට්‍යවල නම් රඟපාන්නේ නෑ කියලා. මොකද හරියට පිටපතක්වත් නැතුවනේ අද සමහර ටෙලි නාට්‍ය හැදෙන්නේ.
සරලාට මේ වගේ තීරණයක් ගන්න වෝටර් චිත්‍රපටයේදී ලැබුණු අත්දැකීමුත් හේතු වුණාද?
ඒකත් එක හේතුවක් තමයි. වෝටර් චිත්‍රපටයේ රඟපාන කාලේ ගොඩක් පුංචියි. රඟපාන්නේ කොහොමද කියලාවත් මම හරි හැටි දැනගෙන හිටියේ නැහැ. හැබැයි එහි රඟපාද්දී මට තේරුණා ඒ අය කොයි තරම් පිළිවෙළට නිර්මාණ කටයුතු කරනවාද කියලා. මම පොඩියි කියලා නෑ. ඔවුන් මා ගැන ගොඩක් සැලකිලිමත් වුණා. ඒ වගේම බොහෝ දේවල් මට කියලා දුන්නා.
වෝටර් චිත්‍රපටයේ නළු නිළියන් ඇතුළු කණ්ඩායම ඊට පස්සේ මුණගැසුණේ නැද්ද?
මිඩ් නයිට් චිල්ඩ්රන් ලංකාවේ රූපගත කරන කාලේ වෝටර් අධ්‍යක්ෂවරිය වන දීපා මෙහ්තා තෑගි බෝගත් අරගෙන මාව මුණගැහෙන්න ආවා. “වෝටර්’’ රූගත කරන කාලේ මම පුංචි නිසා අනෙක් අය එක්ක දිගටම සම්බන්ධතා තියාගන්න තරම් තේරුමක් මට තිබුණේ නැහැ.
වෝටර්වලින් පස්සේ සරලා නිර්මාණ කිහිපයකටම දායක වුණා නේද?
සිංහල චිත්‍රපටයක කියලා රඟපෑවේ “අබා” චිත්‍රපටයේ විතරයි. පොඩි කාලේ ‘අනවරත’ ටෙලි නාට්‍යයට දායක වුණා. අන්තිමට රඟපෑවේ “යකඩ දෝලි“ ටෙලි නාට්‍යයේ. ඒ, 2012 වසරේදී.
වෝටර් චිත්‍රපටයේ රඟපාලා කුඩා කාලේදීම විශාල ජනප්‍රියත්වයක් ලැබෙද්දී වෘත්තීය රංගන ශිල්පිනියක් වෙන්න ඕනෑ කියලා හිතුණේ නැද්ද?
එහෙම නොහිතුණාම නෙවෙයි. හැබැයි ‘වෝටර්’ චිත්‍රපටයේ රඟපාපු කාලේ හැමෝම මා ගැන දක්වපු අවධානය සමහර වෙලාවට මට මහා වදයක් වුණා. නිදහසේ ජීවත් වෙන්නයි මම කැමති. දැන් මාව හුඟක් අයට අමතක වෙලා. ඒ නිසා බස් එකක වුණත් කිසිම කරදරයක් නැතිව දැන් මට මගේ පාඩුවේ යන්න එන්න පුළුවන්.