ජීවතුන් අතර සිටියදී රෝගාතුරව සිටි මවට උදව්වක් උපකාරයක් නොකල පුතෙකු සිය මවගේ මරණය සිදු වූ දා තම ආයතනයෙන් ලබා දෙන වන්දි මුදල ලබා ගැනීමට මවගේ මිනිය ඉල්ලා සිය සොහොයුරිය සමග උරණ වී ආරවුලක් ඇති කරගත් සිදුවීමක් ගල්ගමුව ප්‍රදේශයෙන්වාර්තා වෙනවා.
සිද්ධියට අදාල මිය ගිය මව ගල්ගමුව, මහ ඇඹෝගම ප්‍රදේශයේ පදිංචිව සිටි පස් දරු කාන්තාවක් බවයි වාර්තාවන්නේ.
සමේ ඇති වූ යම් ආසාධනික තත්වයක් මත ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය දා ඇය මිය ගොස් තිබෙනවා.
කෙසේ වෙතත් මව ජීවත්ව සිට ඇත්තේ ඇගේ බාල පුතුගේ නිවසේ වන අතර ඇයගේ රෝගී තත්වය හේතුවෙන් ඇය තම නිවසේ රැඳී සිටීම විශාල කරදරයක් බව පවසමින් ඔහුගේ බිරිඳ විසින් මවට අවලාද අපහාස නගා ඇති බවයි වාර්තා වන්නේ.
දිනක් රෝගී මවට ඇඳ මත මළ පහ වීමේ සිද්ධියක් මුල් කර ගනිමින් බාල පුතුගේ බිරිඳ විසින් ඔහු ඉදිරියේම මෙම මව නිවසින් පිටතට ද ඇද දමා ඇති බව සඳහන්.
කෙසේ වෙතත් අදාළ මව එම නිවසේ ජීවත් වීමට නොහැකිවීම හේතුවෙන් මහව,නෙත්තිපලගම ප්‍රදේශයේ පදිංචිව සිටින තම දියණියගේ නිවසට තනිවම පැමිණ තිබෙනවා.
ඒ වන විටත් ඇයගේ ආසාධන තත්වය උත්සන්න වී තිබීම හේතුවෙන් දියණිය විසින් සිය මවට ප්‍රතිකාර ලබා දී රැක බලාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
නමුත් ඇගේ අනෙක් බාල සොහොයුරන් කිසිඳු අවස්ථාවක සිය මවගේ සැප දුක් සොයා බැලීමට පැමිණ නොමැති අතර වැඩිමල් සොහොයුරු විසින් ඔහුට හැකි අවස්ථාවක යම් කිසි මුදලක් සිය මවගේ කටයුතු සඳහා තම සහෝදරිය වෙත ලබා දී තිබෙනවා.
කෙසේ වෙතත් මව මිය යෑමෙන් පසුව මීට පෙර කිසිදු දිනෙක තම මෑණියන් බැලීමට නොපැමිණි බාල පුතු හා අනෙකුත් දරුවන් මහව තම සහෝදරියගේ නිවසට ඒ අවස්ථාවේදීම පැමිණ ඇති අතර එහිදී පවසා ඇත්තේ මවගේ මෘත ශරීරය ඇඹෝගම ප්‍රදේශයේ තම නිවසට රැගෙන යාමට තමන් පැමිණි බවටයි.
නමුත් මව රැක බලාගත් දියණිය විසින් ඒ අවස්ථාවේදී ඊට විරුද්ධ වී ඇති අතර එම අවස්ථාවේදී දෙපාර්ශවය අතර වචන හුවමාරුවක් ඇති වී ඇති බවයි වාර්තා වන්නේ.
පසුව එම අවස්ථාවේදී එතැනින් පිටව ගිය බාල පුතු ඔහුගේ බිරිඳ හා දරුවන් පසුදින උදෑසනම පැමිණ තම මවගේ දේහය පිට පළාතක වළ දැමීමට ඉඩ දිය නොහැකි බව පවසමින් නැවතත් මවගේ මෘත ශරීරය රැගෙන යාමට උත්සාහ දරා තිබෙනවා.
අදාළ සිද්ධිය හේතුවෙන් මවගේ අවසන් කටයුතු සිදු වූ දිනට පසු දිනෙක නැවතත් දෙපාර්ශවය අතර ආරවුලක් ඇති වී ඇති අතර එය ගුටි බැට හුවමාරුවක් දක්වා වර්ධනය වී ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.
එහිදී මව රැක බලා ගත් දියණියගේ මිතුරියකටද රෝහල් ගතවන්නට පහර දී ඇති අතර අදාළ සිදුවීමෙන් පසු අනාවරණය වී ඇත්තේ බාල පුතු විසින් පවත්වාගෙන යනු ලබන ව්‍යාපාරික ආයතනයෙන් මවගේ මරණය වෙනුවෙන් ලබා දෙන රුපියල් ලක්ෂ දෙකහමාරක මුදල ලබා ගැනීමේ අරමුණින් මවගේ දේහය ඔහුගේ නිවසට රැගෙන යාමට උත්සාහ දරා ඇති බවයි.
අවමගුල් කටයුතුවලට උදව් කළ පවසමින් බාලපුතුගේ බිරිඳ සහ දරු දෙදෙනා විසින් පහර දී ඇති කාන්තාව මේ වන විට කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වෙනවා.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට ගල්ගමුව අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින අතර ගල්ගමුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.