‘‘සර් ඇවිත් කියනකොටම කන්ද ආවා..“
‘‘කකුල් කොන්ක්‍රීට් කැබලිවලට යටවෙලා තිබුණේ..“
‘‘පුතා වැටුණු බව මා දන්නේ නැහැ..“
‘‘මා අද ජීවතුන් අතර ඉන්නේ මාව බේරාගැනිමට ආ ගුවන් හමුදාවේ පුතා නිසයි. නමුත් මම අද ජීවත් වෙලා ඉන්නවා. ඒ පුතා මිය ගිහින්. ඒ ගැන මට තියෙන්නේ දුකක් වගේම විශාල කම්පනයක්“ මේ සංවේදී කතාව කියන්නෙ නෙළුව දූලිඇල්ල තේ කම්හලේ විවේකාගාරයේ සිටියදී නායයාමට ලක්‌ව බරපතළ තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්‌ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ඒ. ජී ඥාණවති මහත්මියයි.
දූලිඇල්ල තේ කම්හලේ විවේකාගාරය තුළ සිටියදී පස්‌කන්දක් නාය යාමට ලක්‌වීමෙන් එහි සිටි අට දෙනෙක් එම ස්‌ථානයේ දීම මිය ගියා. මින් දිවිගලවා ගැනීමට හැකිවුයේ ඥාණවති මහත්මියට හා තවත් කාන්තාවකට පමණයි. දරුවන් හය දෙනකුගේ මවක වු ඥාණවති මහත්මියගේ දිවි බේරා ගැනීමට ගිය ගුවන් හමුදාවේ බලපංති සැරයන්වරයකු වූ සේනක යාපාරත්න මහතා ඇය රැගෙන එමින් සිටියදී ගුවනේ සිට බිමට වැටී මිය ගියේ මුළු රටම කම්පා කරමින්.
සැබවින්ම මෙම කතාව ඉතා සංවේදීය. කෙනෙකුගේ ජීවිතය බේරාගැනීමට ගොස් තම ජීවිතයෙන් වන්දිගෙවීමට සේනක යාපාරත්න විරුවාට සිදුවිය.
එපමණක් නොව දිවි බේරාගත් මව කියන කතාවද ඉතාම සංවේදීය. ඇය හා අනික් කාන්තාව නාය යාමට ලක්‌වූ පසු සුන්බුන්වලට හිරවී පැය හයක් පමණ ජීවිතයත් මරණයත් අතර සටනක නිරතවී සිට ඇත.
කරාපිටිය ශික්‌ෂණ රෝහලේ දී ඇය ඉතා අපහසුවෙන් ඒ බිහිසුණු අත්දැකීම මෙසේ විස්‌තර කර තිබුණා..
‘‘අපිව බේරගන්න ආපු ගුවන් හමුදාවේ පුතා වැටුණු බව මා දන්නේ නැහැ. රෝහලට ආවට පස්‌සේ තමයි දැන ගත්තේ ඒ පුතා මියගියා කියලා. මට ඒ ගැන විශාල දුකක් තියෙන්නේ. මාව බේරාගන්න ඇවිත් තමයි ගුවන් හමුදාවේ පුතා බිමට වැටිලා තියෙන්නේ. රාත්‍රි 12.00 ට විතර ඇති අපට සර්ලා ඇවිත් කිව්වා නාය යනවා ටිකක් අයින් වෙන්න කියලා. අයින් වෙන්න වේලාවක් වුණේ නැහැ. ඒ කියනවාත් එක්‌ක කන්ද ආවා. කවුරුත් අවදිවෙලා හිටියේ. කවුරුවත් බල කරලා කීවේ නැහැ අයින් වෙන්න කියලා. නාය යනවා ටිකක් ප්‍රවේශමෙන් ඉන්න කියලා තමයි කිවේ.“
‘‘දුවන්න වෙලාවක් වුණේ නැහැ. සර් ඇවිත් කියනකොටම කන්ද ආවා. ඉදිරිපස කාමරවල තමයි අපි දෙන්නෙක් හිටියේ. මා හිරවුණා. රාත්‍රි සර්ලා ඇවිත් අපි දෙන්න ගන්න හැදුවා. නමුත් ගන්න බැරිවුණා. මහ වැස්‌සට තෙමි තෙමි හිරවෙලා උදේ වෙනකම් හිටියා. සර්ලා ඇවිත් ගොඩක් මහන්සි වුණා. අපිව ගන්න. නමුත් ගන්න බැරිවුණා. උදේ 6.30ට විතර තමයි ගත්තේ. කකුල් කොන්ක්‍රීට් කැබලිවලට යටවෙලා තිබුණේ. ඒ නිසා අපිව ගන්න අපහසුවුණා. හෙලිකොප්ටරයෙන් ඇවිත් ගුවන් හමුදාවේ පුතා බඳ පටියක් මට දැම්මා ඔරුව වගේ එකක නග්ගවාගෙන තමයි මාව රැගෙන ආවේ. පුතා වැටුණු බව මා දන්නේ නැහැ යෑයි ඇය කඳුළු සලමින් කීවාය.“