දිස්ත්‍රික්ක 8 කට බලපා ඇති අයහපත් කාලගුණයෙන් ජීවිතක්ෂයට පත්වූවන්ගේ සංඛ්‍යාව 146 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ආපදාවලට පත් ප්‍රදේශවල දිස්ත්‍රික් ලේකම්වරුන්ට අනුව, අයහපත් කාලගුණයෙන් අතුරුදන්වී ඇති සංඛ්‍යාව 112 කට අධිකයි.
මේ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ දැනට වර්ෂාවේ අඩුවීමක් දක්නට ලැබුණත් ලබන 29 වැනිදා සිට යළි දිවයිනේ නිරිතදිග ප්‍රදේශවලට තද වැසි ඇතිවිය හැකි බවයි.
අයහපත් කාලගුණයෙන් මේ වන විට වැඩිම බලපෑම් එල්ලවී ඇති රත්නපුර දිස්ත්‍රික්කයේ පමණක් පුද්ගලයින් 51 ක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ මරණ 42 ක්, ගාල්ලෙන් මරණ 8 ක්, මාතරින් මරණ 11 ක්, හම්බන්තොටින් මරණ 2 ක්, ගම්පහෙන් මරණ 2 ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් මරණ 2 ක් සහ කෑගල්ලෙන් මරණ 2 ක් වාර්තා වනවා.
නායයාම් හා ගංවතුරින් අතුරුදන්වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 169 ක්.
පවතින අයහපත් කාලගුණයත් සමඟ රත්නපුර දිස්ත්‍රික්කයේ වාර්තාවී ඇති පුද්ගල මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යාහැකි බව රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරිය සඳහන් කළා.
කලවාන සහ නිවිතිගල ප්‍රදේශවල නායයාමෙන් අතුරුදන්වූවන් පිළිබඳ තොරතුරු මේ වන තෙක් නොලැබීම හේතුවෙන් අතුරුදන් වූවන්ගේ සංඛ්‍යාව පිළිබඳව නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව ඇය සඳහන් කළා.
කළුගඟ පිටාර ගැලීමෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, පැල්මඩුල්ල, තිරිවානාකැටිය, අයගම, කිරිඇල්ල,නිවිතිගල ප්‍රදේශවලට දැඩි බාධා එල්ල වී තිබෙනවා.
මෙම ප්‍රදේශවල සහන සැලසීම් සහ මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා නාවික හමුදාව යොදවා තිබෙනවා.
ඊයේ රත්නපුර දිස්ත්‍රික්කයේ ගංවතුර මට්ටම අඩි 11.6 ක් පෙන්නුම් කළ අතර, අද පස්වරුව වන විට බැසගොස් තිබුණේ අඩියක් පමණයි.
දිස්ත්‍රික්කය තුළ පවුල් 9550 කට අයත් 40,800 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති අතර අවතැන් පුද්ගලයින් සංඛ්‍යාව 30,000 කට අධිකයි.
ඔවුන් සඳහා දිස්ත්‍රික්කය පුරා සහ අවතැන් කඳවුරු 101 ක් ස්ථාපිත කර තිබෙනවා.
ඇහැලියගොඩ කැකුණලියද්ද කන්ද ඊයේ නායයාමෙන් අතුරුදන් වූ තිදෙනාගෙන් එක් අයෙකුගේ සිරුර අද සොයාගත්තා.
අතුරුදන් වූ අනෙක් පුද්ගලයින් සොයා තවදුරටත් යුද හමුදාව මැදිහත්වීමෙන් මෙහෙයුම් ක්‍රියාත්මකයි.
අරම්බඩකන්ද නායයාමෙන් ජීවිතක්ෂයට පත් 9 දෙනෙකුගේ සිරුරු මේ වන විට සොයාගෙන ඇති අතර තිදෙනෙකු තවමත් අතුරුදන්.
තලාපිටිය කන්ද නායයාමෙන් මියගිය සංඛ්‍යාව 3 ක්.
කිරිබත්ගල කන්ද නායයාමෙන් අතුරුදන්වූවන් සොයා මෙහෙයුම් සිදුකළේ මේ ආකාරයෙන්.
ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ විශාල ප්‍රමාණයේ නායයාම් 5 ක් වාර්තා වී ඇති අතර ඉන් 23 දෙනෙකු මියගොස් 5 දෙනෙකු අතුරුදන්ව තිබෙනවා.
මේඅතර රත්නපුර - කහවත්ත ප්‍රා දේශිය ලේකම් කොට්ඨාසයට අයත් බුංගිරිය කන්ද අද පස්වරුවේ නායයාමට ලක්වුණා.
ඒ හේතුවෙන් අවතැන්වූ ජනතාව කඩිනමින් ආරක්ෂිත ස්ථානකරා යොමු කිරීමට ආරක්ෂක අංශ පියවර ගත්තා.
අයහපත් කාලගුණයත් සමග කළුතරදිස්ත්‍රික්කයේ 37 දෙනෙකු මේවන විට ජීවිතක්ෂයට පත්ව 72 කු අතුරුදන්ව තිබෙනවා.
කළුගඟ පිටාර ගැලීම හේතුවෙන් වැඩිම බලපෑම් එල්ලවී ඇත්තේ බදුරලිය, බුලත්සිංහල, නෑබොඩ, හොරණ ආදී ප්රදේශවලටයි.
බදුරලිය - කලවාන මාර්ගය අද පස්වරුව වන විටත් අඩි 7 ක් පමණ ජලයෙන් යටවී තිබුණා.
මීට අතරව, මතුගම - හොරණ, කළුතර - නෑබොඩ, බුලත්සිංහල - කළුතර ආදී ප්‍රධාන මාර්ග රැසක්ද මේවන විට ජලයෙන් යටව අවසන්.
නෑබොඩ නගරයේ ගංවතුර මට්ටම ඊයේ සවස 6 න් පසුව අඩි 5 කින් පමණ වර්ධනයවී ඇති බව අප වාර්තාකරුවන් පවසනවා.
ප්‍ර දේශයේ අවතැන්වූවන් රඳවා සිටින්නේ නෑබොඩ මහා විද්‍යාලයේයි.
මේ අතර, බදුරලිය - දිගන්න ප්‍රදේශයේ ඊයේ සිදුවූ නායයාමෙන් අතුරුදන්වූ පස් දෙනෙකුගේ සිරුරු යුද හමුදාව අද සොයාගෙන තිබෙනවා.
කෙසේ වෙතත් එම ප්‍ර දේශයට ළඟාවීම අපහසුවීම හේතුවෙන් මෙහෙයුම් කටයුතුවලට බාධා එල්ලවී ඇති බව අප වාර්තාකරුවන් සඳහන් කළා.
මේ අතර, සිය මිත්‍රයෙකුගේ නිවසක උත්සවයක් සඳහා පැමිණි විශ්වවිද්‍යාල සිසුන් කිහිපදෙනෙකුද දිගන්න ප්‍ර දේශයේ නායයාමෙන් අතුරුදන්ව ඇති බවට ප්‍ර දේශවාසීන් පවසනවා.
කෙසේ වෙතත්, බදුරලිය ප්‍ර දේශයේ ගංවතුර මට්ටම මේ වන විට ක්‍රමයෙන් පහල යමින් පවතිනවා.
මේ අතර කොබවක නායයාමෙන් ජීවිතක්ෂයට පත් එකම පවුලේ 5 දෙනෙකුගේ සිරුරු අද හොරණ දැල්ලේපිටිය ප්‍රදේශයේ ඥාති නිවසකට රැගෙන ආ අවස්ථාවේ අමාත්‍ය මනෝ ගනේෂන් මහතාද එහි පැමිණ සිටියා.
එහිදී ඥාතීන් අමාත්‍යවරයාට සිය විරෝධය පළ කළේ සහන සැලසීමේ කටයුතු සඳහා රජය පියවර නොගන්නා බවට චෝදනා කරමින්.
බදුරලිය, පැළෑඳ, මාකිරිඇල්ල යන ප්‍ර දේශවලද නායයාම් සිදුව ඇති බවට වාර්තා වුවත්, තොරතුරු ලබා ගැනීම සඳහා එම ප්‍ර දේශවලට ළගා වීමේ අපහසුවක් පවතින බව අප වාර්තාකරුවන් පවසනවා.