දිවයිනේ දිස්ත්‍රික්ක 14ක බලපා ඇති අයහපත් කාලගුණ හේතුවෙන් පුද්ගලයින් 103 දෙනෙකු මිය ගොස් තවත් 113 දෙනෙකු අතුරුදන් වී තිබෙනවා.
පීඩාවට ලක්වූ සංඛ්‍යාව දෙලක්ෂයකට අධිකයි.
කොළඹ, ගාල්ල, මාතර, හම්බන්තොට, කළුතර, රත්නපුරය, කෑගල්ල, ගම්පහ, මහනුවර, මාතලේ, ත්‍රිකුණාමලය, මුලතිව්, වව්නියාව සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවලට අයහපත් කාලගුණයෙන් බලපෑම් එල්ල වුණා.
ඒ, ගං වතුර, නාය යාම්, ඉවුරු කඩා වැටීම් සහ තද සුළං හේතුවෙන්. මෙම දිස්ත්‍රික්ක 14රේ පවුල් 52,503 කට අයත් පුද්ගලයින් දෙලක්ෂ 382 පීඩාවට පත්ව සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.
එමෙන්ම පවුල් 2937කට අයත් පුද්ගලයින් 12,007 දෙනෙකු අවතැන් කදවුරු 69ක රදවා සිටිනවා.
මේ අතර, කැළණි ගඟේ පහත්බිම් රැසක් ඊයේ රාත්‍රියේ සිට මේ දක්වා ජලයෙන් යට වී තිබෙනවා.
කොළොන්නාව, කැළණිය, බියගම, පාදුක්ක, හංවැල්ල, දොම්පේ, අවිස්සාවේල්ල මෙලෙස ජලයෙන් යට වී ඇති බවයි වාර්තා වන්නේ.
කොළඹ දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නංගර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ කොළඹ දිස්ත්‍රික්කයට මහ ගං වතුර තත්ත්වයක් අපේක්ෂා නොකරන බවයි.
මේ අතර, නිල්වලා, ගිං, කළු ගංඟා ද තවදුරටත් පිටාර ගලමිනුයි පවතින්නේ.
ඒ හේතුවෙන් මාතර, ගාල්ල, රත්නපුර, කළුතර ප්‍රදේශ රැසක ජනතාව අවතැන් වී තිබෙනවා.
මාතර දිස්ත්‍රික්කයේ පහත්බිම් රැසක් ජලයෙන් යට වී ඇති අතර මේ වන විට ඇතැම් ප්‍රදේශවල ජලය බැස යමින් පවතින බවයි වාර්තා වන්නේ.
මේ අතර, ගාල්ල දිස්ත්‍රික්කයේ හිනිදුම, තවලම ඇතුළු ප්‍රධාන නගර රැසක් තවමත් ජලයෙන් යට වී පවතිනවා.
එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ ද පහත් බිම් රැසක් ජලයෙන් යට වී ඇති අතර, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද ස්ථාන කිහිපයක් ජලයෙන් යට වී ඇති බවයි වාර්තා වන්නේ.
රත්නපුර නගරය ඇතුළු රත්නපුර දිස්ත්‍රික්කයේ ද පහත් බිම් රැසක් ජලයෙන් යට වී ඇති අතර රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ආපදාවට ලක්වූවන් මුදා ගැනීමේ සහන කටයුතු තවදුරටත් සිදුකරන බවයි.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ අධ්‍යක්ෂිකා ප්‍රේමා හෙට්ටිආරච්චි සඳහන් කළේ සියලු ගංඟාවල ජල මට්ටම් මේ වන විට අඩුවෙමින් පවතින බවයි.
මේ අතර අවතැන් වු සහ පීඩාවට පත්වු ජනතාව බේරාගැනීමට සහ ඔවුන්ට සහන සැලසීම සදහා රජයට අමතර බෝට්ටු ලබාදීමට ධීවර හා සංචාරක බෝට්ටු හිමියන්ගෙන් ඉල්ලා සිටින අතර එම බෝට්ටු නාවික හමුදාව මගින් ගංවතුර පවතින ප්‍රදේශවලට යැවිමට කටයුතු කරන බවයි රජය පවසන්නේ.
එමෙන්ම පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදා තත්ත්වය ඇති වූ ප්‍රදේශවල දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්තව සේවය කරන නිලධාරීන් සහ සියලූම ක්ෂේත්‍ර නිලධාරින්ගේ නිවාඩු නැවත දන්වනතුරු අවලංගු කර තිබෙනවා.
එමෙන්ම, ගංවතුර තර්ජනයට ලක්වී ඇති ප්‍රදේශවල යම් නිලධාරි හිගයක් ඇතිවී තිබේ නම් විශ්‍රාමික ඕනෑම රජයේ නිලධාරියෙකු සේවයට යොදවා රාජකාරි ඉටු කිරීමට අදාළ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්වරයාට බලය පවරා තිබීමද විශේෂත්වයක්.
හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් ගංවතුරට කොටුවී සිටින ජනතාව මුදා ගැනීම සදහා අවශ්‍ය යාත්‍රා සැපයීමට ධීවර අමාත්‍යාංශය ද මෙහෙයුම් කමිටුවක් පත් කළා.
එමෙන්ම, මුදා ගැනීමේ කටයුතු සදහා දැනුම්දීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් ද විශේෂ දුරකථන අංකයක් ප්‍රකාශයට පත් කළා.
ඒ අනුව 0112 343 970 ඇමතීමෙන් අදාළ තොරතුරු ගුවන් හමුදාවට ලබාදිය හැකියි.
මේ අතර අවශ්‍ය සහන සේවා සහ මුදා ගැනිම් කටයුතු සදහා ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සහය අඛණ්ඩව ලබාදී ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න සඳහන් කළා.
මේ වනවිට හමුදා භට පිරිස් 800ක් සහ ගුවන් හමුදාවට අයත් ගුවන් හමුදාවේ බෙල් 212 හෙලිකොප්ටර් යානා දෙකක් ඇතුලු යානා 06ක් මෙන්ම නාවික සහන භට කණ්ඩායම් 28 කට වැඩි පිරිසක් ද යොදවා ඇති බවයි.
එමෙන්ම හදිසි ආපදා තත්ත්වය දැනුම් දීම සඳහා යුද හමුදාව නව දුරකථන අංක දෙකක් හඳුන්වා දී තිබෙනවා.
ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කය සඳහා 076 690 7125, ගාල්ල - මාතර සඳහා 0766907206 යන දුරකථන අංක හඳුන්වා දී තිබෙනවා.