මත්පැන් පානයට හුරුවී සිටින කාන්තාවන්ට පියයුරු පිළිකා වැළඳීමේ අවදානම ඉහළ බව නවතම පරීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.
පිළිකා පර්යේෂණ සඳහාවන ලෝක අරමුදල නිකුත්කළ අදාල වාර්තාවේ දැක්වෙන්නේ දිනකට වයින් වීදුරු භාගයක් හෝ බීර සුළු ප්‍රමාණයක් පානය කිරීමෙන් පවා පියයුරු පිළිකා වැළඳීමේ අවදානමක් පවතින බවයි.
කෙසේ වෙතත් ශාරීරික ව්‍යායාමවල නියැලීමෙන් එම අවදානම අඩුකරගත හැකි බවයි පරීක්ෂකයින් පෙන්වා දෙන්නේ.
කාන්තාවන් මිලියන 12කගේ වෛද්‍ය වාර්තා පදනම් කරගනිමින් සිදු කරන ලද අධ්‍යයනයන් 100කට අධික ප්‍රමාණයක් මෙම අධ්‍යනය සඳහා යොදාගෙන ඇති බව සදහන්.
කෙසේ වෙතත් විද්‍යාඥයන් පවසන්නේ පිළිකාවක් ඇතිවීම සඳහා ශරීරයේ හෝර්මෝන මට්ටම, ජීවන ශෛලිය සහ වෙනත් සෞඛ්‍යමය ගැටළු වැනි හේතු බලපාන බවයි.
තම පවුලේ ඥාතීන්ට පියයුරු පිළිකා වැළඳී ඇත්නම්, ආර්තවය (ඔසප්වීම) නතරවීමෙන් පසු හෝ වයස අවුරුදු 50 ඉක්මවීමෙන් පසු කාන්තාවකට පියයුරු පිළිකා වැළඳීමේ අවදානමක් පවතින බවයි වෛද්‍යවරු පවසන්නේ.
එමෙන්ම උසින් වැඩි කාන්තාවන්ට සහ වයස අවුරුදු 12ට පෙර ආර්තවය (ඔසප්වීම) ආරම්භ වූ කාන්තාවට ද මෙම අවදානම වැඩි බවට වෛද්‍යවරු විශ්වාස කරනවා.
එවැනි සාධක 18ක් ඇතුළත් නවතම පර්යේෂණ වාර්තාවේ සඳහන් වන්නේ මත්පැන් පානය ඉන් එක් සාධකයක් පමණක් බවයි.
අදාල සමීක්ෂණ වාර්තාවේ සඳහන් වන්නේ තම ආහාර රටාව, ශරීරයේ බර සහ ව්‍යායාම වැනි පාලනය කළහැකි සාධක කෙරෙහි සැලකිලිමත්වීම මගින් පියයුරු පිළිකා වැළඳීමේ අවදානම අඩු කරගත හැකි බවයි.