සමාජය කොතෙක් දේ කිව්වද තමන්ගේ උපන් පෙනුම ගැන මහත් ආඩම්බරයෙන් කතා කරන තරුණියක් තමයි 24 හැවිරිදි මාරියානා මෙන්ඩෙස්. ඇය බ්‍රසීල ජාතික තරුණියක්.
මාරියානා මෙන්ඩේස් අනෙක් ගැහැනු ළමයින්ට වඩා වෙනස්. උපතින් උරුම ඇගේ ලස්සන ගැන ඈ කාටත් වඩා ආඩම්බර වනවා. ඇගේ මුහුණේ දකුණු ඇස වසාගෙන ඇති කළු පැහැ උපන් ලපයෙන් ඇගේ මුහුණට ලැබෙන වෙනස්ම ලස්සන පෙනුම ගැන ඈ කතා කරන්නෙ. ඈ නිරූපිකාවක ලෙස අරඹන්නට සැරසෙන අලුත් ගමනේ තමන්ගේ කැපී පෙනෙන ලස්සන මතුකර ගන්නේ කළු පැහැ උපන් ලපයෙන්මයි.
“මාව දකින සමහර අය හිතනවා මේක ටැටූ එකක් කියලත්. මේක මගේ මූණේ මම උපදින කොටම තිබුණු ටැටූ එකක්. මගේ පෙනුම ගැන ප්‍රශ්න අහන කිසිම කෙනකුට මම ඒ ගැන පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරන්නේ නැහැ. ඕන දෙයක් හිතාගත්තාවේ කියලා ඉන්නවා. සමහර අය නම් මගේ මූණටම කියලා තියෙනවා ඕක හරිම අප්‍රසන්නයි නේද? හරිම අමුතුයි නේද කියලා. ඒ කතා ගැන නම් මම හිතන්නෙම නැහැ. මගේ උපන් ලපය ගැන කාට මොනවා හිතුණත් මට නම් ඒක මගේ ඇඟේ කොටසක්.”
මාරියානා පවසන්නේ එවැන්නක්. උපතින්ම ඇයට ලැබුණු මේ මුහුණේ ටැටූ මෝස්තරය අද ඇයට ආභරණයක් වෙලා. ඈ දුටු මුල්ම මොහොතේ ඇගේ මව පවා කම්පා වී ඇත්තේ ඇගේ අනාගතය කෙබඳු වේදැයි සිතමින්. අද මාරියානා ඒ සැක සංකා සියල්ලටම පිළිතුරු සොයා අවසන්.
“කවුරු අකමැති වුණත් මගේ පෙනුමට මම කැමතියි. මගේ මුහණේ තියෙන කළු ලපය ගැන මට ආඩම්බරයි. ඒ වගේ ලපයක්හැම කෙනාටම නැහැනේ. මට විතරයි ඒ ලස්සන හම්බවෙලා තියෙන්නේ.”
වයසින් අවුරුදු පහක් තරම් කාලයේදී මේ උපන් ලපය ඉවත් කරගන්නට මාරියානා ලේසර් ප්‍රතිකාර තුනකට ලක් කර තිබෙනවා. ඉන් සැලකිය යුතු තරමේ ප්‍රතිඵලයක් නොලද තැන අවුරුදු ගණනාවක් තිස්සේ ඇය ප්‍රතිකාර ක්‍රම ගණනාවකටද කාලය වැයකර තිබුණා. අවසානයේ සැත්කමකට පවා සූදානම් වුවත් ඉන් පවා ප්‍රතිඵලයක් ලැබි නැහැ..
“පුංචි කාලේ ඉඳලාම මේ ලපය ඉවත්කර ගන්න නොයෙක් දේ කළා. අන්තිමේදී ලපයේ තියෙන කළු පාට අඩුකර ගන්නත් නොයෙක් දේවල් කළා. ඒ එකක්වත් සාර්ථක වුනේ නැහැ. අද මම සතුටු වෙනවා ඒ ප්‍රතිකාර සාර්ථක නොවුණු එක ගැන. මොකද ඒ ප්‍රතිකාර සාර්ථක වෙලා මගේ මේ කළු ලපය නැතිවුණා නම් මට මේ පෙනුම ලැබෙන්නේ නැහැ. එහෙම වුණා නම් මමත් අනෙක් ගෑනු ළමයි වගේම තවත් එක්කෙනෙක් විතරයි. ඒත් දැන් මම විශේෂයි. මම සතුටු වෙන්නේත්, ආඩම්බර වෙන්නේත් ඒ නිසා.”
මාරියානාට සේම මෝස්තර නිරූපණයන් වෙනුවෙන් මාරියානා හැඩ කරනා ශිල්පිනියටද මාරියානාගේ පෙනුම ගැන ඇත්තේ සතුටක්.
“මට හිතෙනවා මාරියානාගේ පෙනුම අතින් හැමෝටම වඩා ලස්සනයි කියලා. නිතර දකින්න ලැබෙන පෙනුමකුත් නෙවෙයිනේ. මිනිස්සු ඒ පෙනුම දිහා අමුතු විදිහට බලනවා තමයි. ඒ වුණත් ඒක ගණන් ගත යුතු නැහැ.”