ගල්නෑව මුලන්නටුව වැවේ දිය නාමින් සිටි දැරියක ගිල දැමූ කිඹුලා ගම්වාසීන් විසින් ඊයේ (28) රාත්‍රියේ ඝාතනය කිරීමෙන් අනතුරුව කිඹුලාගේ සිරුර පරික්ෂා කිරීමේදී දැරියගේ අවයව කොටස් කිඹුලාගේ සිරුර තුළ තිබී ඊයේ (29) පස්වරුවේ සොයා ගත්තා.
ගල්නෑව පොලිස් වසමේ මුලන්නටුව වැවේ දිය නාමින් සිටි 13 හැවිරිදි දැරියක කිඹුලකු ගොදුරු කර ගනු ලැබුවේ පසුගිය 27 වැනි දින රාත්රියේදීයි.මෙසේ කිඹුලකුගේ ගොදුරක් බවට පත් ව ජීවිතක්ෂයට පත් වූ යේ ගල්නෑව, ලෝලුගස්වැව ප්‍රදේශයේ පදිංචි , ගල්නෑව මධ්‍ය විද්‍යාලයේ 07 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන එස්.එම් ගිම්හානී අනුෂිකා (13) නම් දැරියයි.ඇගේ 13 වැනි උපන් දිනය මැයි මස 02 වැනි දිනට යෙදී ඇතැයිද පවුලේ ඥාතීන් පැවසුවා.
පසුගියදා සිය දෙමව්පියන් හා අසල්වාසී කුඩා දරුවන් පිරිසක් සමගින් ගල්නෑව මුලන්නටුව වැවේ සුපුරුදු පරිදී දිය නෑමට ගිය ගිම්හානී අනුෂිකා සිසුවිය දිය නාමින් සිටියදී හදිසියේ දියේ අතුරුදන්වූ බව ඇගේ මව පැවසූ අතර එක්වරම දියේ අතුරුදන්වූ තම දියණිය සිටි ස්ථානයේ බුබුළු දමනු දුටු බවද ඇගේ සෙරප්පු දෙක දිය මත පාවෙමින් තිබූ බවද මව පවසා සිටියා.
අතුරුදන් සිසුවියගේ මළ සිරුර සොයා නාවික හමුදාව, පොලිස් ජීවිතාරක්ෂක ඒකක , සිවිල් ආරක්ෂක නිළධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව මුලන්නෑව වැවෙහි සෝදිසි කිරීම් දින දෙකකට ආසන්න කාළයක් සිදු කළ අතර එසේ සෝදිසි කිරීම් සිදු කරමින් සිටි ගම්වාසීන් පිරිසකට පෙරේදා (28) රාත්‍රියේ කිඹුලකු මුලන්නෑව වැවෙහි පිටවානේ සිටියදී හමුවී ඇත.ඒ අවස්ථාවේදී ගම්වාසීන් එක්ව අඩි 11 ½ ක් පමණ දිග කිඹුලා පොලු වලින් පහරදී ඝාතනය කර ඒ අවස්ථාවේදීම කිඹුලාගේ ශරීරය කපා ඒ තුළ මිනිස් ශරීර කොටස් තිබෙන බවට තහවුරු කර ගෙන තිබෙනවා.
අනතුරුව ඒ පිළිබඳව ගල්නෑව පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව ගල්නෑව පොලිස් නිළධාරීන් පැමිණ අදාළ ස්ථානයට ආරක්ෂාව සපයා, එම ස්ථානයට හදිසි මරණ පරීක්ෂකවරයෙකු හා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයකු කැඳවාගෙන එනු ලැබුවා.ඒ වන විටත් අති විශාල ජනතාවක් දැරිය ගොදුරු කර ගත් දැවැන්ත කිඹුලා දැක ගැනීමට පැමිණ සිටිම හේතුවෙන් එම ස්ථානයේ විවෘත මරණ පරීක්ෂණයක් සිදු කිරීම අපහසු වූයෙන් කිඹුලා ගල්නෑව රජයේ රෝහලේ මෘත ශරීරාගාරය වෙත ගෙනැවිත් මරණ පරීක්ෂණ සිදු කිරීම සිදු කළා.
ගල්නෑව රජයේ රෝහල් මෘත ශරීරාගාරය අසලටද පශ්චාත් මරණ පරීක්ෂණය සිදු වන ආකාරය දැක ගැනීමට විශාල පිරිසක් රැස් කමින් පොරකමින් පැමිණ සිටි අතර, කිඹුලාගේ උදරය පළා පරික්ෂා කිරීමේදී මිනිස් හිස් කබල් කොටසක්, උඩු දත් ඇන්දක් ,අතක් හා පාදයක් ඇතුළු මිනිස් සිරුරු කොටස් කිහිපයක් සොයා ගනු ලැබූ අතර එම ශරීර කොටස් ගිම්හානී අනුශිකාගේ බවට ඇගේ දෙමාපියන් තහවුරු කර තිබෙනවා.