සමාජරෝග වැලඳී කුරුණෑගල ශික්‍ෂණ රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණෙන අය අතර, සුළු වශයෙන් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සිටින නිසා ඉදිරි කාලයේදී පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර සමාජ රෝග පැතිරයෑමේ අවදානමක් මතුවී ඇතැයි එම රෝහලෙහි ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි නිහාල් එදිරිසිංහ මහතා පවසා තිබෙනවා.
මේ නිසා මවුපියන් තරුණ වියෙහි පසුවන තම දරුවන් ගැන සහ ගුරුභවතුන් තම ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගැනද මීට වඩා වැඩි අවධානයක් යොමු නොකළහොත් තත්ත්වය මීට වඩා වෙනස් විය හැකි යැයිද ඔහු වැඩිදුරටත් පවසා ඇත.
එදිරිසිංහ මහතා මෙසේ පවසා ඇත්තේ, පසුගියදා කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකයෙහි පැවැති මාධ්‍ය හමුවකදීයි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා සමාජරෝග වැලඳී ඇද්දැයි පරීක්‍ෂා කර බැලීම හා එම රෝග වැලඳී ඇත්නම් ප්‍රතිකාර ලබාදීම, කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ 'ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකයෙන්' දිනපතාම පාහේ කෙරෙන අතර ඒ සඳහා සෑහෙන පිරිසක් එහි පැමිණෙන බවද පවසා ඇත.
"2016 වසර ආරම්භයේ සිට අවසානය දක්වා එසේ පැමිණි 1560 දෙනකු ස්ථිර වශයෙන්ම සමාජරෝග වැලඳුණු අය බව හඳුනා ගත්තා.
හර්පීස්, ගොනෝරියා, සිපිලිස්, ලිංගික ඉන්නන් සහ ගොනෝරියා නොවන මුත්‍රාමාර්ග හා ගැබ්ගෙල ආසාදන සහිත රෝගීන් ඒ අතර සිටිනවා.
දැනට සමාජරෝග වැලඳී ඇති සංඛ්‍යාව අනුව ඉදිරි කාලයේදී පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් එම රෝගවලට ගොදුරුවීමට ඇති ඉඩකඩ වැඩිවී ඇති නිසා ඒ පිළිබඳ පාසල් ප්‍රධානීන් හා ශිෂ්‍ය ශිෂ්‍යාවන් දැනුවත් කිරීමට කටයුතු කරගෙන යනවා" යැයිද නිහාල් එදිරිසිංහ මහතා වැඩිදුරටත් පවසා තිබෙනවා.