ජැක්සන් ඇන්තනිගේ පුංචි පුතා සජිත අනුරුද්ධ ඇන්තනි කියන්නේ පුංචි කාලේ ඉඳලම රංගනය නිසා ජනතාවගේ ආදරය දිනා ගත්ත නළුවෙක්. සජිත දැන් ආදරණිය පෙම්වතෙක් කියලා අපි හිරු කොපි චැට් වැඩසටහනේදී පසුගියදා අනාවරණය කළා. ඔහු ගැන නවතම තොරුතුරු පහතින් දැක්වේ.
සජිතටත් රාජ්‍ය නාට්‍ය උළෙලේදී ඇගයුමක් ලැබුණා නේද?
ඔව්. මම සම්බන්ධ වුණ "ප්‍රේමවන්ත කුමාරයෝ" කියන වේදිකා නාට්‍ය වෙනුවෙන් මට කුසලතා සම්මානයක් ලැබුණා. ගිරිකූඨ කාශ්‍යප වේදිකා නාට්‍ය වෙනුවෙන්, මම වසරේ හොඳම නළුවා සම්මානයට නිර්දේශ වුණා. මට ලැබුණ කුසලතා සම්මානයත් මාව මාර විදියට දිරිමත් කළා.
ඔබේ තාත්තා වේදිකාවත් එක්ක හිටපු කෙනෙක්. මේ සම්මානය වෙනුවෙන් තාත්තාගෙන් ලැබුණේ මොන වගේ ප්‍රතිචාරයක්ද?
අප්පච්චි කිව්වා එයා සහභාගි වුණ පළමුවැනි නාට්‍ය උළෙලෙන් එයාට සම්මානයක් ලැබුණේ නෑ කියලා. හැබැයි මම සම්බන්ධ වුණු පළමුවැනි නාට්‍ය උළෙලේදීම මට සම්මානයක් ලැබුණ එක "මරු" කියලා එයා කිව්වා. ඇත්තටම තාත්තාට වගේම මටත් ඒක සතුටක්.
මුලින්ම තාත්තාට හම්බ නොවුණු ඇගයීම් දැන් සජිතට ලැබෙද්දී ආඩම්බරෙන්ද ඉන්නේ?
මම ආඩම්බරද නැද්ද කියලා දන්නෝ දනිති. මම ආඩම්බර නැති කොල්ලෙක්. මම නිහතමානීව මං ගැන, අප්පච්චී ගැන ආඩම්බර වෙනවා. හැබැයි ඒ ආඩම්බරකම තවත් කෙනෙක්ට වදින්නේ නැහැ. මම සරලකමේ උපත.
සජිතව මුලින්ම දකින්න ලැබුණේ සිනමාවෙන්. දැන් සිනමාවෙන් ඈත් වෙලා වේදිකාවට වැඩි බර දීලද?
මම දැන් විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ ඉගෙන ගන්නේ. ඉගෙනීමේ කටයුතු නිසා සිනමාව වෙනුවෙන් මේ දවස්වල කාලය වෙන් කිරීමේ ගැටලුවක් තියෙනවා. මම විශ්වවිද්‍යාලයේ කරන්නේ නාට්‍ය හා රංග කලා විශේෂවේදී උපාධිය. ඉතින් මම "ගිරිකූඨ කාශ්‍යප", "ප්‍රේමවන්ත කුමාරයෝ" කියන නාට්‍යවලට සම්බන්ධ වෙලා ඉන්නවා. රාජිත දිසානායක සර්ගේ "මට වෙඩි තියන්නැද්ද" කියන වේදිකා නාට්‍යයටත් ඉදිරියේදී සම්බන්ධ වෙනවා. අපේ අප්පච්චිත් සිනමාවට එන්න කලින් වේදිකාවේ දඟලලා වැඩ පෙන්වලා ආවේ. මමත් ඉගෙන ගන්න ආස කරන මාධ්‍යයක් තමයි වේදිකාව.
ඒ කියන්නේ වේදිකාවේ දඟලලා වැඩ පෙන්නලා තාත්තාගේ අඩි පාරෙම යනවා කියලා පෙන්නන්නද සජිතට ඕන?
එහෙම පෙන්වනවා නෙවෙයි. ඒත් අප්පච්චී ගිය පාරටම මම වැටිලා තියෙනවා. ඒක හිතාමතා ගිය ගමනක් නෙවෙයි.
සජිත වගේම අයියයි, අක්කයි ක්ෂේත්‍රයේ වැඩවලට සම්බන්ධ වෙනවා. තුන් දෙනා අතරේ රංගනයට තරගයක් තියෙනවද?
අපි සමාන ක්ෂේත්‍ර නියෝජනය කළාට අපි සමාන නැහැ. අපි තරග කරන්නෙත් නැහැ. අයියා අයියට වැඩක් ආවොත් එයාට බැරි නම් ඒකට මාව සම්බන්ධ කරනවා. මමත් එහෙමයි. අක්කත් වැඩ ලැබෙන කොට අපිටත් අවස්ථා දෙනවා. අපි බෙදා හදාගෙන වැඩ කරන්නේ.
අප්පච්චිගේ නිර්මාණවල අයියයි අක්කයි දකින්න ලැබුණට සජිතව දකින්න නෑනේ?
තාත්තා "අබා" චිත්‍රපටයට මාව සම්බන්ධ කරගත්තා. ඊට පස්සේ කරපු ඇඩ්‍රස් නෑ, සී රජ, දස්කොන් වගේ නිර්මාණවලට අප්පච්චී මාව ගත්තේ නෑ.
අප්පච්චී සජිතව කපලා දාලද?
සමහර විට අප්පච්චී මට තනියෙන් නැඟිටින්න දාලද දන්නේ නෑ. අප්පච්චී මට දවසක් කිව්වා "මම මොකටද ඔයාව මගේ වැඩවලට ගන්නේ? අධ්‍යක්ෂවරු ඔයාව වැඩවලට ගන්න තැනට වැඩ කරන්න" කියලා. හැබැයි පහුගිය කාලේ අප්පච්චී සී රජ දෙවැනි කොටසට මාව ගන්න ට්‍රයි කළා. හැබැයි ඒක හරි ගියේ නෑ. කොහොම වුණත් තමන්ගේ ළමයි කියලා එයා අපිට අවස්ථා දෙන්නේ නෑ. නිර්මාණයේ චරිතයකට ගැළපෙනවා නම් විතරයි අපිව වැඩවලට ගන්නේ. අප්පච්චීගේ නිර්මාණ හතර පහකටම මාව ගැළපිලා නැහැ වගේ.
සනුක, නදිමාල්, කෞෂාන්, දිල්මින් එක්ක තිබ්බ යාළුකම තාමත් තියෙනවද?
ඔව්. අපි යාවජීව යාළුවෝ කණ්ඩායමක්. දිල්මින් නම් රට ගියා. අපි යාළුවෝ කිහිප දෙනාට මුණ ගැහෙන්නේ නැතිව දවස් දෙකකට තුනකට වඩා ඉන්න බැහැ. කතා කරලා කොහොම හරි එකතු වෙනවා. තවමත් තිබ්බ බැඳීම එහෙමම තියෙනවා. අපි එකතු වුණාම සින්දු කියනවා. නිර්මාණ කරනවා.
සජිතගේ ගීතයක් රසිකයන්ට දෙන්න සූදානම් වෙනවා කියලත් ආරංචියි?
ඔව්. "ස්වර්ණපාලියේ" කියන මගේ ගීතය රූප රචනාවක් එක්කම මගේ රසිකයෝ අතරට ළඟදීම ගේනවා. "තරු දහසක්" කියලා මමම ලියපු ගීතයකට මෙලඩි එකකුත් කරලා තියෙනවා. කොහොමත් ඉදිරියට ගායන ජීවිතයෙනුත් මම එළියට එයි.
සජිත ගායනය, නර්තනය, රංගනය කියන අංශ තුනම නියෝජනය කරනවානේ. ඔය අංශ තුනෙන්ම සජිතව ඉදිරියටත් දකින්න ලැබෙයිද?
වේදිකාව උඩ රඟපානවා වගේම වින්දනයක් මම ගායනයෙන් වගේම නර්තනයෙන් ලබනවා. දැනටමත් මම විශ්වවිද්‍යාලයෙන් කරන නර්තනය සම්බන්ධ වැඩවලට සම්බන්ධ වෙනවා. මම මේ අංශ තුනෙන්ම තෘප්තිමත් වෙන නිසා ඒ අංශ තුනේම වැඩ ඉදිරියටත් කරනවා.
සජිත දැන් පෙම්වතෙක් වෙලානේ?
ඔව්. මම දැන් ප්‍රේමවන්තයෙක්. මට ගැළපෙන කෙනාව හම්බ වුණා. එයා හොඳ ඩාන්සර් කෙනෙක්. පවුල්වලිනුත් අපිට කැමැත්ත දීලා තියෙන්නේ.
මෙම සටහන දිනපතා පුවත්පතක පළවී තිබුණා.