සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය විෂය අසමත් වූ බවට සිත්තැවුලට පත්ව පාසල් සිසුවියක සහ සිසුවෙකු සියදිවි නසා ගැනීමේ අවාසනාවන්ත පුවතක් ජා-ඇල සහ හෝමාගම ප්‍රදේශවලින් වාර්තා වුණා.
ජා-ඇල කණුවන ප්‍රදේශයේ පාසල් සිසුවෙකු ගණිතය විෂය අසමත් වීම හේතුවෙන් සිත් තැවුලට පත්ව ජා-ඇල, තුඩැල්ල ප්‍රදේශයේදී අද (29) අලුයම දුම්රියට පැන සියදිවි හානි කරගෙන ඇති බවට වාර්තා වනවා.
එම සිසුවා අනුරාධපුර - උස්ගල පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඊයේ දිනයේදී ඔහු ජා-ඇල ප්‍රදේශයේ ඥාතියෙකුගේ නිවසට පැමිණෙන බව පවසා නිවසින් පිටව ගොස් තිබෙනවා.
පසුගිය වසරේ ඔහු දෙවන වරට පැවැත්වූ සාමාන්‍ය පෙළ විභාගයේ ගණිත විෂයට පෙනී සිට ඇති අතර, ඔහු සමීපතම මිතුරාට ජංගම දුරකථනයෙන් කතා කර ප්‍රකාශ කර ඇත්තේ තමන් දෙවනවරටත් සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය විෂය අසමත් වී ඇති බවයි.
මේ අතර හෝමාගම - කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචි චලනි ලක්ෂානි නමැති සිසුවිය ඊයේ (28) නිවසට ආසන්නයේ ගසක එල්ලී සියදිවි හානි කරගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළා.
එම අවස්ථාවේදී ඇගේ මව සහ නැගණිය පමණක් නිවසේ සිට තිබෙනවා.
ඇය හෝමාගම මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ අතර මෙවර දෙවන වර සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිට ඇත්තේ උසස්පෙළ වාණිජ අංශයෙන් හැදෑරීම සඳහා ගණිතය විෂය සමත් වීමේ බලාපොරොත්තුවෙන්.
ඇයගේ මළ සිරුර මේ වනවිට හෝමාගම රෝහලේ තැන්පත් කර තිබෙනවා.
කෙසේ වෙතත්, විභාගය අසමත් වීම නිසා සියදිවි හානි කර ගැනීම ඵල රහිත ක්‍රියාවක් බව කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් ප්‍රකාශ කළා.