ගංගා කැරොකේ කෙල්ලකි. හැඩකාරියකි. ඒ නිසා මම ඇයට බෙහෙවින් ප්‍රිය කළෙමි. කැරෝකේ සමාජ ශාලාවට ගිය මුල්ම දවස්වල ගංගා මා හා පෙමින් බැඳුණාය.
ඒ බව එහි සිටින බොහෝ අය දනිති. ඒ නිසා ගංගාද නොයෙකුත් අපහසුතාවයන්ට මුහුණ දුන්නාය. ඇයට මා දමා වෙනත් පිරිමියකු ළඟට යන්න බැරි තරමින් අපි දෙදෙනා එකිනෙකාට කිට්ටුවෙන් බැඳී සිටියෙමු.
මම ඇය බලන්නට සතියකට දෙවරක්වත් කැරෝකේ සමාජ ශාලාවට ගියෙමි. ඇය ද මා බලාපොරොත්තුවෙන් සිටියාය. සමහර දාට මා සතුව මුදල් නැතත් ඇය මගේ පැමිණීම අපේක්ෂාවෙන් සිටියාය.
“පිස්සුද... ඔයා ඕන දෙයක් ගන්න සල්ලි ප්‍රශ්නයක් නැහැ. ඒක මම බලාගන්නම්...”
එවැනි කෙල්ලන් සමාජ ශාලාවල ඉන්නේ අල්පයකි. සමාජ ශාලාවට එන බොහෝ පිරිමින් අත දිග හැර වියදම් කළත් කෙල්ලක පිරිමියකුට වියදම් කරන්නේ නම් එය කලාතුරකිනි. එසේ නම් ඒ දැඩි ආදරයකට හෝ දැඩි විශ්වාසවන්තකමකට පමණි.
බොහෝ පිරිමින් එතැනට එන්නේ කෙල්ලන් සමඟ රිසිසේ හැසිරෙන්නටය. එවැන්නන් බොහෝමයක් කෙල්ලන්ටද සලකති.
සමහරු කෙල්ලන්ගෙන් නික්ම යන්නේ තඹ සතයක් හෝ ඔවුන් අත නොතබමිනි. කෙල්ලක් රෑ වෙන තුරු පිරිමියෙකු හා රැඳෙන්නේ යනකොට කීයක් හරි දෙන බවට විශ්වාසයක් ඇති නිසාය. ඒ ලැබෙන මුදලින් ඔවුන් සත්මහල් ගොඩනගන්නේ නැත. මල් යහන්වල සැතපෙන්නට යන්නේ ද නැත.
“ඊයේ ඔයා මට දුන්න රුපියල් දාහෙන් මම ගෙදර යනකොට පොඩි එකාට මිදි ටිකක් අරගෙන ගියා. අනේ ඔයාට ගොඩාක් පින් අයියේ....”
එළෙස කියන කෙල්ලෝ ද වෙති. ඒ නිසා කිසියම් කෙල්ලකගෙන් සමුගනිද්දී ඇය අත කිසියම් මුදලක් තබන්නට මම ද අමතක නොකරමි.
“ගෙදර පිටි ටිකක් වත් තිබුණේ නැහැ. ඔයා දුන්න සල්ලි වලින් මම පොඩි එකාට පිටි පැකට් දෙකක් ගත්තා ..”
ඔවුහු එසේ කියති. දුන් මුදල අගය කරති. ඒ ඔවුන් ඇත්තෙන්ම නැතිබැරි එවුන් නිසාය. ඔවුන් කවදාවත් මෙවන් රැකියාවක් කරන්නට කැමැත්තක් නැත.
ඔවුන් මහ රෑ වනතුරු පිරිමින්ට තුරුලු වී නොයෙකුත් බොරු බේගල් පෙම්බස් දොඩමින් මත්පැන් බොමින් සිගරට් උරමින් අඩනිරුවත්ව හැසිරෙන්නේ ජීවත්වන්නට ඕන නිසාය. නැතහොත් කළ හැකි වෙන දෙයක් නැති නිසාය. මම ඒ බව හොඳින් දනිමි.
ගංගාද එවන් යුවතියකි. කොළඹ බාලිකා විද්‍යාලයක උසස් පෙළ දක්වා ඉගෙනුම ලැබු ඇය අකාලයේ ම ජිවිතය විනාශ කරගත් කෙල්ලකි.
තරුණ බස් රියැදුරකු හා හාදව ඔහු අතින් විනාශයට පත්ව ගෙදරට මුහුණ දිය නොහැකිව සිටියදී දරුවකු ද ලැබ ජීවිතය ගැට ගසා ගන්නට නොහැකිව කාගේ හෝ උදව්වකින් කැරෝකේ රැකියාවකට ඇය පැමිණියාය.
ටික දිනක් රැකියාව කරද්දී ඇය දුම්පානයට පුරුදු වුවාය. ඊට සතියකට පසු එතැනට එන පිරිමියකු ඇයට “මත්පැන්” පුරුදු කළේය. දැන් ඇයට මත්පැන් නැතුවම බැරිය.
“ඔයා ඔහොම හැසිරෙන කොට අර දරුවට යන කලදසාව මොකද්ද?”
මම එසේ කිහිප වතාවක්ම ඇගෙන් අසා ඇත්තෙමි.
“කරන්න දෙයක් නැහැ අයියේ....”
“ඒ කියන්නේ ඔයා ගෙදර ගිහිනුත් බොනවද?”
“ගෙදර කිව්වට ඒක කාමරයක් නේ...”
“හරි හරි මම අහන දේට උත්තර දෙන්නකෝ”
“ගෙදරදී බොන්නෙ නැහැ... හැබැයි සිගරට් විස්සෙ පැකට් දෙකක් වත් ඉවර කරනවා.”
“ඔයා ඔහොම සිගරට් බිව්වොත් නම් ඉක්මනට මැරිලා යාවි..”
“මමත් ඒක බලාපොරොත්තුවෙන් තමයි ඉන්නේ...”
“එතකොට දරුවා..”
“මම එච්චර දෙයක් හිතන්නේ නැහැ...”
ඇය කතා කරන්නේ ජිවිතය ගැන සැහැල්ලුවෙන් යුතුවය. ඇය ඇගේ ජිවිතය ගැන පමණක් සිතන බව පෙනේ.
දුටු පමණින් ඇය සොයා එන පිරිමි බොහෝය.
ඒ ඇගේ සුන්දර ඇඟපත නිසාය. සිනහමුසුව ඇය ඒ හැම දෙනාම පිළිගනි.
ඔවුන්ට තුරුලු වෙයි. ඒත් ඇය ආදරය කරන්නේ මට බව මම දනිමි. වෙන පිරිමියකු සමඟ සිටියත් මා දුටු පමණින් ඔහු අතහැර මා ළඟට ඒම ඇගේ පුරුද්දකි.
“අර මනුස්සයා ඔයා ගැන මොනව හිතයිද..?”
“ආ... ඒකට කමක් නැහැ. එයාට වෙන කෙල්ලක් යවන්නම්.”
ඇය එලෙස කියන්නේ ඇත්තටම ආදරයෙනි. තමා ආදරය කරන පිරිමියා වෙනත් කෙල්ලක හා තුරුලු වනවාට ඕනෑම කෙල්ලක් දක්වන්නේ අකමැත්තකි.
ඇය ද එවැන්නියකි. නොදැනුවත්ම හෝ වෙනත් කෙල්ලක මා ළඟට පැමිණියහොත් එදාට විනාශයකි. ඇය කේන්ති කරවීම සඳහා මම නොයෙක් වර එසේ කර ඇත්තෙමි. මා වෙනත් කෙල්ලක හා සිටිනු දුටු ඇය තදින් කෝප වෙයි. බැරිම තැන තරහෙන් මත් වතුර පානය කරයි.
එකක් තියෙද්දී තවත් සිගරට්ටුවක් පත්තුකරයි. අවසානයේ මා සමඟ සිටි කෙල්ලට නිරපරාදේ පහර දෙයි.
පියුමි සමාජ ශාලාවට ආ අලුත් කෙල්ලකි. ඇය මා හා ගංගා අතර ඇති සබඳතාවය නොදැන සිටි එකියකි. එදා ගංගා රැකියාව සඳහා නොපැමිණි සිටි නිසාදෝ පියුමි මා වෙත පැමිණ මා තුරුලේ සිටියේ ඇගේ ජීවිත කතාව ද කියමිනි.
හදිසියේ එතැනට පාත්වුණු ගංගාට එතැන සිටි එකියක කිවේ මා පැමිණ ඇති බවකි. ඒ සැණින් හැරුණු ගංගා දුටුවේ මා පියුමි සමඟ සිටින අයුරුය.
මින් කෝපයට පත් ගංගා එක්වරම පැමිණ පියුමිට පහර දුන්නාය.
මේ කිසිත් නොදත් පියුමි ද ඇය සමඟ ගැටුණාය. ගංගා ද අත හැරියේ නැත. පියුමි ද ඊට නොදෙවෙනිය. බිම වැටෙමින් දෙදෙනා ගහ ගනිති. අනෙක් කෙල්ලන් මේ රණ්ඩුව නතර කරන්නට කොතෙක් උත්සාහ ගත්ත ද ඉන් ඵලක් නොවිණි. මා ද ඊට මැදි වුව ද මටද එය නතර කරන්නට නොහැකි විය.
අවසානයේ මේසය මත තිබු බියර් බෝතලයක් අතට ගත් ගංගා ඉන් පියුමිගේ හිසට පහර දුන්නාය. පියුමි හිස අල්ලාගෙන එතැනම දිගා වුවාය.
හිසෙන් ගලන රුධිරය නිසාම සමාජ ශාලාවේ ආරක්ෂක නිලධාරීන් ඇය වත්තන් කරගෙන රෝහලට ගෙන ගිය අතර ටික මොහොතකින් ගංගා ගේ කේන්තිය නිවි තිබිණි.
“මොකද්ද ළමයො ඔයා කළේ?”
මම ඇගෙන් ඇසුවෙමි.
“ඒකි ඔයා ළඟ ඉන්නවා මට බලාගෙන ඉන්න පුළුවන් ද?” ඇය මට දොස් පවරන්නට වුයේ කේන්තියෙනි.
“හරි.. හරි... ඒකට ඉතිං....”
“ඒකට ඉතිං ඇයි දුකද?...”“නැහැ... මම කිව්වෙ...”
“මම ඕකිව මරනවා...”
ගංගා කේන්තියෙන් කියාගෙන ගියාය. මා ඇය අස්වැසුව ද ඉන් ඵලක් නොවිණ.
“ඒ වුණාට ඔයා කරපු දේ වැරදියි. මම නම් එක් අනුමත කරන්නේ නැහැ...”
“එහෙනම් ඔයා එයත් එකක්ම ඉන්න. මම යන්නම්...”
එලෙස කියාගෙන ගිය ගංගා යළි මා සොයා නොපැමිණියාය. මා දෙතුන් වතාවක්ම ඇය සොයා කැරෝකේ සමාජ ශාලාවට ගියද ඇය රැකියාවට හෝ පැමිණ සිටියේ නැත. මා ඇය අමත්නනට ගත් සෑම උත්සාහයක්ම ව්‍යාර්ථ විය. ගිය සතියේ ද මම ඇය දකින අටියෙන් සමාජ ශාලාව වෙත ගියෙමි.
“ගංගා ඇවිත් පඩි සල්ලි අරන් ගියා.”
එතැන සිටි ඇගේ හිතවතියක් මට කීවාය.
“එච්චර දෙයක් කිව්වේ නැහැ. ආයෙත් රස්සාවට එන්නේ නැහැ කිව්වා. අයියට දෙන්න කියලා ලියුම් කෑල්ලක් දුන්නා....”
ඇය මට ඒ කොළ කැබැල්ල ගෙනැවිත් දුන්නාය. මම එය දිග හැර බැලුවෙමි.
“ඔයා මට ආදරේ නැහැ. අවංකව ආදරය කරන කෙනෙක් ඔහොම කරන්නෙ නැහැ. ඒ නිසා ආයෙත් මාව හොයන්න එපා. ඔයාට ජේසු පිහිටයි...”
බොඳ වූ කඳුළු අතරින් මම ඒ කොළ කැබැල්ල දෙතුන් වරක්ම කියෙව්වෙමි. මට මා ගැන ඇති වුයේ තරහකි.
මට ගංගා මැවි පෙනිණි.