2017. 3. 19 දින දහවල් දොළහයි තිහට පමණ පොලිස් හදිසි ඇමතුම් අංශය අවිස්සාවේල්ල මුලස්ථාන පොලීසිය ඇමතුවේය. ඒ මිනිස් ඝාතනයක් පිළිබඳ තොරතුරක් ලබාදීමටය.
සිද්ධිය සැළවීමත් සමඟ අවිස්සාවේල්ල පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු කුඩගම පාර යාහැල්ලවත්ත බලා ගියහ.
ගමේ පිරිස අල්ලාගෙන සිටි තරුණයා පොලිස් භාරයට ගත් අතර ඔහු අත තිබී පිහියක් ද සොයා ගැනීමට නිලධාරින්ට හැකි විය.
පිහි ඇනුමට ලක් වූ තරුණිය ඒ වන විටත් අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර තිබූ අතර මොහොතකින් ලැබුණු ආරංචිය වූයේ ඇය ඒ වන විටත් මියගොස් ඇති බවය.
පොලිස් භාරයට ගැනුණු සැකකාර තරුණයා රැගෙන පොලීසියට ගිය නිලධාරීන් සිද්ධිය පිළිබඳ තොරතුරු ඔහුගෙන් විමසුවේය. එහිදී අනාවරණය වූයේ ප්‍රේම සබඳතාවක් නිසා ඇති වූ ආරවුලක් මත පිහි ඇනුම සිදු කළ බවය.
සිද්ධියෙන් මිය ගොස් සිටියේ බලංගොඩ සියඹලාගස්වත්ත ලිපිනයේ පදිංචි හපුතැන්න වියන්නලාගේ නිරෝෂණී නමැති විසි හැවිරිදි යුවතියකි. ඇය අවිස්සාවේල්ල කර්මාන්ත පුරයේ ඇඟළුම් සේවිකාවක් වශයෙන් සේවය කළාය.
සැකකරු වූ මංගල ද බලංගොඩ රාස්සගල පදිංචිකරුවෙකි. දෙදෙනා අතර ප්‍රේම සබඳතාවක් ඇති වී ඇත්තේ ගමේදීය. ඒ වන විට ඇය පාසල් වියේ පසු වූවාය. මංගල ඉන් පසුව යුද හමුදා සේවයට එක් විය.
දෙදෙනා අතර තිබූ ආදර සබඳකම වැඩිකල් නොගොස් දෙපැත්තේම මාපියන්ට ද දැනගන්නට ලැබිණ. මුලින් විරුද්ධත්වය පළ කළ ද පසුව දෙදෙනාටම මාපියෝ ආශිර්වාද දී තිබුණහ.
ඒත් සිය පෙම්වතා යුද හමුදා සේවයේ දිගටම රැඳී සිටිනවාට නිරෝෂණී එතරම් කැමැත්තක් දැක් වූයේ නැත. ඇය ඔහුට නිතර කියා සිටියේ හමුදාවෙන් ඉවත් වී වෙනත් රැකියාවක් සොයා ගන්නා ලෙසය.
ඇගේ කීම පිළිගත් මංගල හමුදා සේවයෙන් නීත්‍යානුකූලව ඉවත් විය. ඉන් පසු කොළඹට පැමිණි ඔහු නොයෙකුත් ගොඩනැගිලිවල කුලී රස්සාවල් කරන්නට විය.
ඒ අතර පාසල් ගමනට ආයුබෝවන් කී නිරෝෂා ද අවිස්සාවේල්ල කර්මාන්ත පුරයේ වැඩට ආවාය.
දෙදෙනාගේ හිතවත්කම ද ඒ අයුරින්ම පැවැතිණ. මංගල නිරෝෂාට ඇත්තටම ආදරය කළේය. කොළඹ රැකියාවට යන අතරතුර අවිස්සාවේල්ලට පැමිණ ඇයට පලතුරු හෝ ඇය ආසා කරන කෑමක් බීමක් අරන් දී වචනයක් දෙකක් කතා කරන්නට ද ඔහු අමතක නොකළේය.
ආදරය වැඩිකමට දෝ ජංගම දුරකථනයක් ද පවා ඇයට ලබාදීමට ඔහු ක්‍රියා කර තිබුණේය.
මංගල කොළඹ නොයෙකුත් තැන්වල රැකියාව කරද්දී නිරෝෂා ගාමන්ට් එකේ මිතුරියන් සමඟ සතුටින් කාලය ගත කළාය.
ඒ අතරතුර නිරෝෂාට එක්තරා පුද්ගලයකු හඳුනාගන්නට ලැබිණ. ඒ ඇඳුම් ගන්නට රත්නපුරයට ගිය විටය. ඔහු රත්නපුර රෝහලක සේවකයකු විය.
දෙදෙනා අතර ඇති වූ හිතවත්කම ජංගම දුරකථනය හරහා තවත් දළු ලා වැඩෙන්නට විය. කල්ගත වෙද්දී නිරෝෂාගේ සිත කෙමෙන් කෙමෙන් මංගලගෙන් ඈත් වන්නට පටන් ගත්තාය.
තම පෙම්වතියගේ වෙනස් වීම වැඩිකල් යන්නට මත්තෙන් මංගලට හොඳින්ම දැනිණ. ඔහු කිහිප වතාවක්ම ඊට හේතුව සොයන්නට උත්සාහ කළේය.
“මොකද ඔයා වෙනස් වෙලා. ඇයි ඔයාට වෙන කවුරු හරි ඉන්නවද?”
මංගල ඇගෙන් නිතර ප්‍රශ්න කරන්නට විය. සමහරදාට මංගල දෙන ඇමතුම්වලට නිරෝෂා පිළිතුරු නොදුන්නාය.
නැතිනම් තම කාර්යබහුල බව කියමින් දුරකථනය විසන්ධි කළාය. මෙය මංගලට මහත් ගැටළුවක් විය. කෙළින්ම මේ බව ඇගෙන් දැනගන්නා බව ඔහු සිතුවේය.
වරෙක කර්මාන්ත පුරයේ ඇය නැවතී සිටින නවාතැනට ගිය මංගල ඔහු දුන් ජංගම දුරකථනය ඇගෙන් ඉල්ලා ගත්තේය.
එය රැගෙන ගිය මංගල එහි වූ දත්ත එකින් එක පිරික්සන්නට විය.
එහිදී ඔහුට සිය පෙම්වතියගේ හා අළුත් පෙම්වතාගේ දුරකථන සංවාදයක් අසන්නට ලැබිණි.
මෙය මංගලට වාවාගත නොහැක්කක් විය. ඔහුට නිරෝෂා ගැන ඇති වූයේ කෝපයකි. ඇය තමා මඟ හරින්නේ අලුත් පෙම්වතකු හමු වී ඇති නිසා බව ඔහු විශ්වාස කළේ ඉන් පසුවය. මෙය මංගලට මහත් ප්රහේළිකාවක් ගෙන දුන්නේය.
“මම මෙච්චර මෙයාට ආදරය කරලත් ඇයි මෙයා මගෙන් ඈත් වුණේ. මම මොන වරදක් කළාටද”
යටි සිත නිතරම ඔහුගෙන් ඒ බව විමසීය.
“දෙකින් එකක් වෙන්න එයාගෙන්ම අහලා දැනගන්නවා”
අවසානයේ මංගල තීරණය කළේය. ඔහු නිරෝෂා හමුවන්නට කිහිප වතාවක්ම උත්සාහයක් ගත්තත් ඒ සෑම උත්සාහයක්ම හරි ගියේ නැත.
වසර හයක් පුරා පැවති ප්‍රේම සබඳතාවයේ ආගිය මුල ගිය තැන් එකිනෙක මංගලට සිහි විය.
දෑත් අල්ලාගෙන සිරීපාදය වැන්ද හැටි ඔහුට මතක් විය. මේ සියල්ල ඔහුගේ හදවත තව තවත් දවාලන්නට සමත් වූයේය. තමා මෙවන් තත්ත්වයකට ඇද දැමීමට හේතු වූ කරුණු කාරණා ඇයගෙන්ම අසා දැන ගැනීමට ඉටාගත් මංගල ඉකුත් 19 වනදා අවිස්සාවේල්ලට ආවේ උල් පිහියක් ද රැගෙනය.
මංගල නිරෝෂාගේ මිතුරියකට දුරකථන ඇමතුමක් දුන්නේය. තමා අවිස්සාවේල්ලට ඇවිත් සිටින බවත් නිරෝෂා හමුවීමට අවශ්‍ය බවත් ඔහු ඇයට කීවේය.
“අපි එළවළු ගන්න කඩේට යනවා”
ඇගේ ප්‍රකාශය අනුව මංගල ඇය සිටි තැනට ආවේය. ඇය පැමිණියේ තවත් මිතුරියක් ද සමඟය. එළවළු කඩය අසලදී මංගල ඇගෙන් තමාව මඟහරින හේතුව විමසුවේය.
සුළුවෙන් ඇති වූ කතාබහ දුර දිග ගියේය. ඒ සමඟ මංගලට උන්හිටි තැන් අමතක විය.
ලැජ්ජාව ඔහු ගත වෙලා ගත්තේය. කෝපය නිම්හිම් නැති විය. ඔහුගේ අතට අසු වුයේ මෙතෙක් වෙලා සඟවාගෙන සිටි උල් පිහිය පමණි.
එය නිරෝෂාගේ පිට ප්‍රදේශය පසාරු කරගෙන යන්නට වැඩි කාලයක් ගත නොවීය. පිහි පහර කෑ නිරෝෂා දිව යන්නට වූවාය.
ඒ සමඟම කඩේ මුදලාලි මංගල අල්ලා ගන්නට පොර බැදීය.
ඒ වන විටත් දිව යන නිරෝෂාගේ සිරුරට පිහි පහර තුනක් එල්ල වී අවසන්ය.
නිරෝෂා මර හඬ දීගෙන එතැනම ඇදගෙන වැටුණාය. සිද්ධිය දුටු පිරිස වහා එතැනට එක් වෙද්දී මංගලට ඔවුන්ගෙන් මිදී පලා යා නොහැකි විය.
මංගල ගම්වාසීන්ට කොටු විය. 119 හදිසි ඇමතුම් අංශයට මේ පිළිබඳ තොරතුරක් ලැබෙන්නේ ඉන් පසුවය.
නයනා පියසීලි හා බුලත්සිංහලගේ සුනිල්ට දරුවන් තිදෙනකි. නිරෝෂා ඉන් වැඩිමලාය. ඇයට ගෙදර අය කියන්නේ ‘වාසනා’ කියාය. ඇගේ අවසන් කටයුතු ඉකුත්දා බලංගොඩදී සිදු විය.
පොලීසිය මංගලගේ දෑතට මාංචු දමා තිබිණි. සිද්ධියෙන් පසු ඔහුගේ කෝපය නිම වී ගොසිනි. ඔහු පැත්තකට වී ඉකි ගසමින් සිද්ධිය මෙනෙහි කරන්නට විය.
“මම පිහිය අරන් ගියේ එයා මරන්න නෙමේ සර්. මේකේ ඇත්ත නැත්ත දැනගෙන එයා ඉස්සරහදිම පිහියෙන් මට ඇනගන්න”
නිලධාරියකු ඉදිරියේ ඔහු හීන්සීරුවේ මුමුණන්නට විය. සැකකරු අධිකරණයට ඉදිරිපත් කොට රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරිණි.
සතිඅන්ත පුවත්පතක් ඇසුරෙන්