ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පදිංචි සූරම්යා දෙදරු මවකි. ඇගේ සැමියා ප්‍රියන්ත පනස් හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
මොවුහූ දරු දෙදෙනෙකුගේ මව්පියෝය. දැනට අවුරුදු දෙකක සිට සුරම්‍යාගේ මනස අවුල් වී ඇත.
බලාගත් අත බලා සිටී. යටි බඩේ වේදනාවකින් පීඩා විඳී වෛද්‍ය ප්‍රතිකාර ලැබුව ද වෛද්‍ය පරීක්ෂණ වලින් කිසිදු ශාරීරික ආබාධයක් අනාවරණය වී නැත.
කරන ලද වෛද්‍ය ප්රතිකාරවලින් හා වත් පිළිවෙත්වලින් කිසිදු සහනයක් නොවූ ප්‍රියන්ත ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා සුරම්‍යා කැඳවා ගෙන ගියේය.
එහිදී ආධ්‍යාත්මීය ගවේෂකවරයා මුණගැසී ඇගේ අසනීප තත්ත්වය පැහැදිලි කිරීමෙන් පසු ගවේෂකවරයා ඇය වෙත ශක්ති කිරණ එල්ල කළේය. එවිට ඇය වෙව්ලා බිම වැටී හිස පොළොවේ ගසා ගන්නට වූවාය. කෑ ගසන්නට වූවාය.
ඇයට ආවිශ්ට වූ භූතාත්මයෙන් ගවේෂකවරයා ප්‍රශ්න කරන්නට විය.
“කවුද මේ ශරීරයට ඇතුල්වෙලා කරදර කරන්නේ?”
“මම නිහාල්”
භූතාත්මය උත්තර දුන්නේය.
“කවුද නිහාල් කියන්නේ ?”
“මම මේ මා ඔයේ වැලිගොඩ දාපු නිහාල්”
“ඇයි මේ අයට හිරිහැර කරදර කරන්නේ?”
“පළිගන්න. පළිගන්න. මුන්ගෙන් පළිගන්න. මුන් නිසා තමයි මගේ ජීවිතේ නැති වූණේ. ඒකට පළිගන්නකම් මට සැනසිල්ලක් නෑ. මේ මුදලාලියාවයි ගෑනිවයි මරන්න ඕනෑ”
භූතාත්මය දත් සපමින් කීවේය.
ගවේෂකවරයා භූතාත්මයෙන් ප්‍රශ්න කිරීම නතර කොට මේ නිහාල් කව්දැයි ප්‍රියන්තගෙන් ඇසීය. නිහාල් ගැන තොරතුරු ප්‍රියන්ත විස්තර කළේ මෙසේය.
“මේ නිහාල් මගේ වැලි තොටුපළේ වැලිගොඩ දාපු කම්කරුවෙක්. මගේ ළඟ කුලියට වැඩ කළා.
මුදල් ගනුදෙනුවකට මම දවසක් නිහාල්ට බැන්නා. එතැන හිටපු අනිත් අයත් අහගෙන හිටියා.
ඒ සිද්ධිය ගැන නිහාල් හිටියේ තරමක අමනාපයෙන්. ඒකට පළිගන්න නිහාල් දවසක් මගේ නෝනගෙ අතින් අල්ලා වරදට පොළඹවා ගන්න උත්සාහ කරලා තිබුණා. නෝනා මූට බැනලා පන්නාගෙන තිබුණා.
සිද්ධිය නෝනා මා එක්ක කිව්වා. පහුවදා උදේ වැලිගොඩදාන්න ආපු වෙලාවෙ මම නිහාල්ට ගැහුවා. සිද්ධිය කියලා බැනලා පන්න ගත්තා. මූ බිම බලාගෙන යන්න ගියා. ඒ ලැජ්ජාවට නිහාල් වස බීලා මැරිලා තිබුණා”
ප්‍රියන්ත ගවේෂකවරයා ඉදිරියේ ඇත්තම කීවේය.
ගවේෂකවරයා කාරණය අවධානයට ගෙන ඔවුන්ට දින විසි එකක් ගමේ පන්සලේ බෝධි පූජා පවත්වා නැවත එන්නැයි උපදෙස් දුන්නේය.
බෝධි පූජා පටන්ගත් දවසේ පටන් සුරම්‍යාගේ රෝග තත්ත්වයන්, විශේෂයෙන්ම යටි බඩේ වේදනාව වැඩි විය.
එහෙත් බෝධි පූජාව සඳහා පන්සල් භූමියට ඇතුල් වූ පටන් සියලු ආබාධ ඉවත් වී පෙර සිටි නිරෝගි තත්ත්වය ඇය තුළින් දක්නට ලැබුණි. මේ බව ප්‍රියන්ත ගවේෂකවරයා වෙත දුරකථනයෙන් දැනුම් දුන්නේය.
තමන් සසර ගමනේදි කළ අකුසල කර්ම විපාක මෙවැනි අවස්ථාවල මතුවන බවත් ඒවා ද ඉවසා දරාගෙන ගෙවා දැමිය යුතු බවත් එවැනි කර්ම විපාක තවත් කෙනෙකුට බාර ගන්නටවත් පිස දමන්නටවත් නොහැකි වීම ලෝක ධර්මතාවක් බව ගවේෂකවරයා ප්‍රියන්ත පැහැදිලි කර දුන්නේය.
බෝධි පූජාව අවසානයේ රතන සූත්‍රය තුන් වරක් සජ්ඡායනය කරන ලෙස උදේට නිවසේදී තුන් පිරිත තුන්වරක් සජ්ඡායනා කරන ලෙසත් ගවේෂකවරයා ඔවුනට නියම කළේය.
බෝධි පූජා දින විසි එක අවසන් කොට ඔවූහු නැවත පැමිණියහ. එදින ද ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කරන විට සුරම්‍යාට නිහාල්ගේ භූතාත්මය ආවිශ්ට වී අඬන්නට විය. ගවේෂකවරයා භූතාත්මයෙන් ප්‍රශ්න කළේය.
“ඇයි මේ අඬන්නේ?”
“මහත්තයා මාව පන්නන්න නේද හදන්නේ?”
“නැහැ. යහපත් තැනකට යවන්න”
“කොහේටද? මා ඔයේ තොටුපලට ද?
“නෑ...... නෑ...... සිද්ධස්ථානයකට”
“එතකොට මම මුන්ගෙන් පළිගන්නේ කොහොමද?”
“නහී වේරේන වේරානි- වෛරයෙන් වෛරය නොසන්සිදේකියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ලෝක ධර්මතාවක් අපි ඒක පිළිගන්න ඔිනෑ”
“එහෙම නම් දෙනෝ දහක් මැද්දේ මූ මට ගැහැව්වේ මොකටද?”
භූතාත්මය ප්‍රියන්ත දෙසට අත දිගු කොට කීවේය.
“ඒකටත් හේතුවක් ඇතිනෙ. තමුන් ඒක දන්නවා ඇති.
ඔය හැම දේකටම හේතු තියෙනවා. හේතුවක් නැතිව ඵලයක් හට ගන්නේ නෑ. ඕවා අතීතයට හිතන්න ගියොත් හිතලා කෙළවරක් වෙන්නේ නෑ.
හොඳම දේ ඒවා හිතින් අත් හැරිමයි. අතීතය ගියා. ආයෙත් එන්නේ නෑ. මැරුණා. ඒ නිසා වර්තමානයේ සිත පිරිසිදු කරගන්න.
“ඔය බණ මට තේරෙන්නේ නෑ. ඕවා මුන්ට කියලා දෙන්න. මට ඔය බණ වලින් වැඩක් නෑ. මට ඕනෑ මුන්ගෙන් පළිගන්න”
භූතයා එය කියන විටම සුරම්‍යා යටි බඩ අල්ලාගෙන වේදනාවෙන් කෑ ගසන්නට වූවාය.
ගවේෂකවරයා ශක්ති කිරණ අල්ලා භූතාත්මය දවාලන්නට විය. ප්‍රේතයා කෑ ගසන්නට විය. සුරම්‍යාගේ වේදනාව පහ වුවද ප්‍රේතයා කෑ ගසන්නට විය.
“පිච්චෙනවා. පිච්චෙනවා, දැවිල්ලයි, අනේ පුච්චන්න එපා.”
“ඇයි මේ සුරම්‍යාට මගේ ඉදිරියෙත් හිරිහැර කළේ?”
“හිරිහැර කළේ නෑ. මගේ වාසස්ථානයට ගියා.”
“කොතනද තමුන්ගේ වාස භවන”
“මෙයාගේ බඩ...”
“කරුණාකරලා මේ දැන්ම මෙයාව අතහැරල පිටවෙලා යන්න ඕනෑ.”
“නෑ.... මම යන්නෙ නෑ. තමුසෙට පුළුවන් දෙයක් කරනවා. මම යන්නේ නෑ”
ප්‍රේතයා යළි කෑ ගසන්නට විය.
වේවැල් පහර කීපයක් එල්ල කළ ගවේෂකවරයා ශක්ති කිරණ එල්ලකොට ප්‍රේතයා නැවත දවාලන්නට වූයේය.
“එපා... එපා.... පුච්චන්න එපා. දැවිල්ලයි. දැවිල්ලයි. අනේ මහත්තයෝ පුච්චන්න එපා. මහත්තයා කියන දෙයක් කරන්නම්”
“එහෙම නම් මේ අය අතහැර යනවා කියා පොරොන්දු වෙයං”
භූතයා ගවේෂකවරයාට වැඳ “ආයෙත් කරදර කරන්නේ නෑ. මම යනවා. මම යනවා. ආයෙත් එන්නේ නෑ” යි පොරොන්දු විය.
“මට නෙවෙයි. අර බුදු පිළිම වහන්සේට වැඳලා පොරොන්දු වෙන්න ඕනෑ.”
භූතාත්මය බුදු පිළිම වහන්සේ ඉදිරිපිට වැඳ වැටී පොරොන්දු වී “මම යනවා මම යනවා” යි කියමින් සුරම්‍යාගේ ශරීරයෙන් ඉවත්ව ගියේය. සුරම්‍යා නින්දෙන් ඇහැරුණාක් මෙන් පියවි සිහියට පත්ව වටපිට බැලුවාය.
ගවේෂකවරයා සුරම්‍යාටත්, ප්රියන්තටත් දිනපතා උදේ සවස නිවසේ කළ යුතු වත්පිළිවෙත් කීපයක් හා සජ්ඤායනා කළ යුතු පිරිත් කීපයක් නියම කළේය.
තොටුපළේ වැලිගොඩ දමන කම්කරුවන්ට කාරුණිකව සලකන ලෙස ද ප්‍රියන්තට උපදෙස් දුන්නේය.