මෙරට වාර්ෂිකව ගර්භණීභාවයට පත් වන අධි බරැති (ශරීරයේ නියමිත බරට වඩා වැඩි බරැති) කාන්තාවන්ගෙන් සියයට 75 ක්‌ම දෛනිකව ගත යුතු ආහාරවේල් තුන වෙනුවට ආහාර වේල් හයක් පරිභෝජනය කිරීම හේතුවෙන් එම කාන්තාවන් මෙන්ම ඔවුන්ට උපත ලබන ළදරුවන්ද දියවැඩියාව ඇතුළු පෝෂණය ආශ්‍රිත රෝගාබාධ රැසකට ගොදුරු වෙමින් පවතින බව අනාවරණය වී ඇතැයි බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පෝෂණය සම්බන්ධ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්‌ස මහත්මිය පවසා තිබෙනවා.
මෑතකදී සිදු කරන ලද දීපව්‍යාප්ත සමීක්‍ෂණයකට අනුව මෙසේ දෛනිකව ආහාර වේල් හයක් පරිභෝජනය කරනු ලබන ගැබිනි කාන්තාවන්ට උපත ලබන දරුවන්ද අධි බරෙන් පෙළෙන බවයි අනාවරණය වී තිබෙන්නේ.
මෙසේ අධික ආහාර පරිභෝජන රටාවකට හුරුව ඇති ගැබිනි කාන්තාවන්ට බත්ද ඇතුළුව, පලා වර්ග, එළවළු හා පලතුරු යහමින් අඩංගු ආහාර වේල් තුනක් දිනකට පරිභෝජනය කරන ලෙස වෛද්‍යවරුන් උපදෙස් දී තිබියදීත් ඔවුන් එම උපදෙස් නොතකා ක්‍රියා කරන බව වෛද්‍ය ජයතිස්‌ස මහත්මිය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
පලා වර්ග, එළවළු හා පලතුරු වර්ග, වෙනුවට තෙල් යහමින් යෙදූ ආහාර වර්ග හා පිටි සහිත ආහාර පරිභෝජනය කිරීම නිසා මෙම අධිබරැති ගැබිනි කාන්තාවන් තම ජීවිතය මෙන්ම අළුත උපදින දරුවන්ගේ ජීවිතද අනතුරේ හෙළන බවත් මෙම තත්ත්වය මෙරට බෝ නොවන රෝග පැතිරීම වැළැක්‌වීමට බාධාවක් බව ඇය සඳහන් කළා.
සමීක්‍ෂණයට අනුව අධි බරැති ගැබිනි කාන්තාවන්ගෙන් සියයට 73 ක් හා තරබාරු ගැබිනි කාන්තාවන්ගෙන් සියයට 65 ක් උදෑසන කාලයේ අමතර ආහාර වේලක්‌ද, අධි බරැති කාන්තාවන්ගෙන් සියයට 87 ක් හා තරබාරු කාන්තාවන්ගෙන් සියයට 85 ක් සවස අමතර ආහාර වේලක්‌ද, අධි බරැති කාන්තාවන්ගෙන් සියටය 10 ක් රාත්‍රි නින්දට පෙර අමතර ආහාර වේලක්‌ද අනුභව කරන බව හෙළි වී ඇත.
මෙරට වාර්ෂිකව කාන්තාවන් තුන් ලක්‍ෂ අසූදහසක් පමණ ගර්භණීභාවයට පත් වන අතර ඔවුන්ගෙන් සියයට 24 ක් අධි බරැති බව අනාවරණය වී තිබෙනවා.
මෙම සටහන දිනපතා පුවත්පතක පළවී තිබුණා.