විවාහය කියන්නේ ජිවිතේ හොඳට හිතලා ගන්න ඕනේ තීරණයක්. මොකද තමන්ට නොගැලපෙන කෙනෙක් එක්ක විවාහ වුණොත් වෙන්නේ ජීවිත කාලෙම දුක් විදින්න.
ඒ විදිහට නොගැලපෙන කෙනෙක් එක්ක විවාහ වුණු නිසා මුළු ජීවිතේම විනාශ කරගත්තු තරුණයෙකුගේ සංවේදී හෙළිදරව්වකි මේ.
“මම හිරගෙදර ආවේ අවුරුදු පනස්පහේදී. මම හරියටම අවුරුදු දහයක් හිරේ හිටියා.
නිදහස්වෙලා අවුරුදු දෙකක් වෙනවා. ඒ වුණාට මම මාස දෙක තුනකට වතාවක් හිරේ ඇවිත් යනවා.”
මොකට ද ආයෙත් හිරේ අවේ.?
“මම හිරේ ආවාම හුඟාක් තැවුණා. මම හිටියේ හිතේ අවුලෙන්.
ඒ වෙලාවේ මෙහේදි හමුවුණ තරුණයෝ දෙන්නෙක් මගෙ හිත හැදුවා.
ඒ දෙන්නා දිර්ඝකාලින සිර දඬුවම් විඳින අය. ඒ අය බොහෝම වැරදි කරපු අය. ඒ වුණත් ඒ දෙන්නා මගෙ හිත හැදුවා.
ගෙවුණ අවුරුදු දහයම මම හිටියේ ඒ දෙන්නත් එක්ක.
ඒ නිසා මම ඇවිල්ලා ඒ අයව බලලා යනවා. ඒ එනකොට කන්න මොනවා හරි අරගෙන එනවා. ඒ දෙන්නත් කැමතියි මම එනවට.”
ඔබ විවාහකයෙක් නෙමෙයිද?
“මතක් කරන්න එපා විවාහය ගැන. විවාහය තමයි මාව නැති කළේ. මම මටම වෛර කරගන්නවා.”
ඇයි.ඒ?
“මට ලැබුණේ නොගැලපෙන කාන්තාවක්. ඒත් ඒ නොගැලපෙන කාන්තාව විවාහ කරගෙන මම අවුරුදු දහයක් විතර පවුල් කෑවා.”
දරුවෝ හිටියේ නැද්ද?
“මට පුතෙක් ඉන්නවා. ඒ පුතාට අවුරුදු විසිපහක් විතර වෙනවා.
ඒත් පුතා මට වඩා ළඟ මගෙ නංගිට. නංගිට දරුවෝ නැහැ. නංගි මගෙ දරුවව හදා ගත්තා. පුතාට එතකොට වයස අවුරුදු පහක් විතර ඇති.”
බිරියට මොකද වුණේ?
“මම විවාහ වෙලා මුලින් හොඳ ලස්සන පවුල් ජීවිතයක් ගතකෙරුවා.
ඒත් අපට දරුවා ලැබුණට පස්සේ එයා වෙනස් වෙන්න ගත්තා. මුලදි මට තේරුණේ නැහැ ඒ ඇයි කියලා.
එයා මාව මඟ හරින්න ගත්තා. ටිකෙන් ටික අපි අතර කිසිම සම්බන්ධයක් නැති තත්ත්වයට පත්වුණා.
දවසක් මම ගෙදර යනකොට දරුවා දාලා එයා යන්න ගිහිල්ලා. නංගියි අම්මයි විතරයි ගෙදර හිටියේ.
එයා වෙන කසාදයක් කරගත්තා. මගෙත් වැරැද්දක් තියෙනවා. මම බිරියව ගෙදර තනියම දාලා යාළුවෝ එක්ක ඇවිදින්න ගත්තා.
මම එහෙම යන්න බලපෑවෙත් බිරිඳම තමයි. එයා කැමති නැහැ මම මගෙ පවුලේ අයට සලකනවට.
ඒ නිසා අපි අතර නිතරම ගැටුම් තිබුණා. බිරිය මාව ගණන් ගන්නේ නැති තත්ත්වයක් ආවා.
එයා වෙන වෙන මිනිස්සු එක්ක යන්න පටන් ගත්තා. මුලදිම මම එයාට කිව්වා එහෙම වෙන්න එපා කියලා.
ඒත් එයා ඒක ඇහුවේ නැහැ. මේ නිසා අපි ගහගත්තා, බැණ ගත්තා.
ඇයට දරුවා ගැන කිසිම හැඟිමක් තිබුණේ නැහැ. එයා කළේ දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් කරන දෙයක් නෙමේ.
එයා දරුවව තනියම දාලා එහෙ මෙහෙ යන්න ගත්තා. අන්තිමට එයා යන්නම ගියා. ඒ ගියේ නිකම්ම නෙමෙයි.
මගේ හැමදේම නැතිකරලා. මම ඇයව බැන්දේ අම්මා ගෙනාව යෝජනාවකට.
එයා මාව දාලා යන්න ගියාට පස්සේ මම හැසිරුණේ පිස්සෙක් වගේ. ඊට පස්සේ තමයි මම සුමාලි එක්ක යාළු වුණේ. සුමාලි කියන්නෙත් මගේ ජීවිතේම හූර ගත්ත කෙනෙක්.”
ඇයි එහෙම කියන්නේ.?
“මම සුමාලිව දැක්කේ මගේ ජීවිතේ ගොඩ ගන්න ආව දේවතාවියක් වගේ.
නමුත් ඒ දේවතාවිය යක්ෂණියක් වෙන්න වැඩි දවසක් ගියේ නැහැ.
සුමාලිත් මගේ හැම දේම නැතිකළා. මම රස්සාවක් කියලා කළේ කඩේ කරගෙන යන එක.
මගේ ගාව පිරිමි ළමයි කිහිප දෙනෙක්ම වැඩකළා. මගෙ ළඟ හිටියා ජයසිරි කියලා කෙනෙක්.
ජයසිරි හොඳට වැඩකරගෙන හිටියා. නමුත් සුමාලි ඇවිල්ලා ටික කාලෙකට පස්සේ ජයසිරි වෙනස් වුණා.
එයා අන්තිමට සුමාලිත් අරගෙන අපේ කඩේ තිබුණ දේවලුත් අරගෙන යන්න ගියා.
මම පොලිසි ගියා. වැඩක් වුණේනැහැ. මේ දේවල් වුණාට පස්සේ මම ටික කාලෙකට මගෙ යාළුවෙක්ගෙ මාර්ගෙන් රට ගියා.
මම එහෙ රස්සාවක් කළා. මේ අතර නංගි ළඟ හැඳුණ මගේ පුතා හොඳට ඉගෙන ගත්තා. මීට අවුරුද්දකට කළින් මගෙ පුතා වැඩිදුර ඉගෙන ගන්න රට ගියා.
නංගියි මස්සිනයි දරුවා ගැන බලන නිසා මගෙ හිත නිදහස්.”
එතකොට හිරේ ගියේ මොන වැරැද්ද කරලා ද?
“ඇත්තම කිව්වොත් මගේ මුල්ම බිරිඳ ගැන මට තරහක් නැහැ.
නමුත් සුමාලි ගැන මම හැම විටම හිටියේ තරහින්.මට හොයා ගන්න බැරි වුණා සුමාලි ඉන්නේ කොහෙද කියලා.
නමුත් දවසක් මම ජයසිරිව දැක්කා. ඊට පස්සේ මම ජයසිරි ඉන්නේ කොහෙද කියලා හොයා ගත්තා.
මම එක දවසක් ජයසිරි පස්සෙන් එයාටත් හොරෙන් එයාගේ ගෙදර ගියා.
ඒ වෙලාවේ සුමාලිත් හිටියා. සුමාලි දැක්ක හැටියෙ මට ඇතිවුණේ පුදුම කේන්තියක්.
දෙපාරක් නොහිති මම සුමාලිට පිහියෙන් ඇන්නා. මට ඕන වුණේ සුමාලිව මරන්න. ඒත් මට ඒක කරගන්න බැරි වුණා.
ජයසිරිටත් පහර දුන්නා .මම හිතුවේ සුමාලි මැරුණා කියලා .නමුත් එයා බේරිලා තිබුණා. මට දඬුවම් නියම වුණා.”
-දැන් මොකද කරන්නේ?
“මම තවම මගේ කඩේ කරගෙන යනවා. අම්මා දැන් ජීවතුන් අතර නැහැ. නමුත් නංගි මට අම්මා කෙනෙක් වගේ ළඟින් ඉන්නවා.”
හිරේ යන්න වුණ එක ගැන මොකද හිතෙන්නේ?
“මිනිස්සුන්ට බොහෝම අසිරු කාලවල් එනවනේ. මටත් මොකක් හරි කරුමයක් තමයි පළදීලා තිබුණේ . ඒත් මම දැන් සැනසිල්ලේ ඉන්නවා.”