අවුරුදු එකහමාරෙදි ස්වීඩන් යුවළක් හදාගන්න අරගෙන...
ජීවිතය නැතිකරගන්න එන අතරමගදි මවට හමුවූ යුවළක්..
බුලත්සිංහල ප්‍රදේශයේ දී අවුරුදු තිස්‌තුනකට පෙර දරුකමට හදා ගැනීමට ස්‌වීඩන් ජාතික යුවළකට දුන් සිඟිත්තා අවුරුදු තිස්‌පහකට පසු මව සෙනෙහස සොයා බුලත්සිංහල පොලිසියට පැමිණීමෙන් පසු බුලත්සිංහල පොලිසිය එම තරුණයාට සිය මව මුණගැසීමට කටයුතු සලසා දී තිබූ සංවේදී අවස්‌ථාවක් ගැන අසන්නට ලැබෙනවා.
ලංකාව තුළ ජීවත්ව සිටියදී නිහාල් ලියනගේ නමින් හැඳින්වූ සිඟිත්තා අද හැඳින්වෙන්නේ නික්‌ලස් පීටර්සන් නමිනි. අගහිඟකම් පිරි පවුලක උපන් වයස අවුරුදු එකහමාරක් පමණ වියේ පසුවෙමින් සිටි නිහාල් ස්‌වීඩන් ජාතික බො හා බ්රිට් මරි නමැති යුවළට ලබාදුන් බව ඔහුගේ මව වන ගුණවතී ලියනගේ මහත්මිය පවසනවා.
පියාගේ නොසැලකිලිමත්කම හේතුවෙන් ඔහුගේ මව වන ගුණවතී ලියනගේ යන අයට ඇතිව තිබූ දැඩි පීඩනයත්, දරිද්‍රතාවයත් හේතුවෙන් ස්‌වාමිපුරුෂයා හැර දමා ඒමට ඇය තීරණය කර ඇති අතර ඒ අනුව ඇය යට්‌ටපාත ප්‍රදේශයේ සිට දිවි තොර කරගන්නා බලාපොරොත්තුවෙන් බුලත්සිංහල ප්‍රදේශයට පා ගමනින්ම පැමිණෙන අතර හමුවූ කාන්තාවක් සහ තවත් යුවළකගේ ආධාරයෙන් තමාට නඩත්තු කර ගැනීමට නොහැකි මෙම දරුවා ස්‌විඩන් ජාතික යුවළට ලබාදී ඇති අතර එම යුවළ නීත්‍යානුකූලව මෙම දරුවාගේ අයිතිය ලබාගෙන ස්‌වීඩන් රටට ගෙන ගිය බව මව සඳහන් කර සිටිනවා.
අද වන විට නික්‌ලස් පීටර්සන් තරුණයා එරට ඉංජිනේරුවරයකු ලෙස සේවය කරන අතර තම භාරකාර මවුපියන්ගෙන් ලබාගත් තොරතුරු හා කුඩා කාලයේ ලංකාවෙන් යැමට පෙර මව සමඟ සිට ලබාගත් ඡායාරූපයක්‌ද සමඟ ලංකාවට පැමිණ මව සොයා ගැනීම සඳහා බුලත්සිංහල පොලිසියේ සහය පතා ඇති අතර වහාම ක්‍රියාත්මක වූ පොලිසිය මේ සම්බන්ධයෙන් තොරතුරු සොයා එම තරුණයා සහ මව බුලත්සිංහල පොලිසියේදී මුණගැස්‌වීමට කටයුතු සූදානම් කර තිබුණා.
වසර තිස්‌තුනකට පෙර අහිමිවූ මවු උණුසුම විඳි එම අවස්‌ථාව ඉතාම සංවේදී අවස්‌ථාවක් වූ අතර බලා සිටි සැමගේ නෙත්වලට කඳුළක් එක් කළා. එම කාන්තාව සමඟ මල්කාන්ති නමැති නික්‌ලස් තරුණයාගේ නැගණියක්‌ද පැමිණ සිටි අතර ඇය හා මව තිදෙනා වැළඳ ගනිමින් සතුට ප්‍රකාශ කළා.