ගතවූ පැය 36ක කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවූ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 20 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
මහනුවර දුම්රියපොල ඉදිරිපිට පදික මාරුවෙන් ගමන් කළ තරුණියක් ටිපර් රථයක ගැටීමෙන් ඊයේ දහවල් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
සිද්ධියෙන් මියගියේ දිගන ප්‍රදේශයේ පදිංචි ආර්.ඒ ගනිමේෂා ප්‍රබෝධනී ගම්ලත් නැමැති 19 හැවිරිදි තරුණියක්.
ඇය සමග ගමන්ගත් තරුණයෙකුද අනතුරෙන් තුවාල ලබා මහනුවර මහ රෝහලට ඇතළත් කර තිබෙනවා.
ඔහු ප්‍රබෝධනීගේ පෙම්වතා බවයි මහනුවර පොලිසියේ රථවාහන අංශය සඳහන් කළේ.
මොරටුව එගොඩඋයන ප්‍රදේශයේදී ලොරි රථයක් බස් නැවතුම්පොලකට කඩා වැදීමෙන් ඊයේ පස්වරුවේ සිදු වූ අනතුරින් මිය ගිය පුද්ගලයින් තිදෙනාගේ දේහයන් පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරව අද පස්වරුවේ ඔවුන්ගේ නිවෙස් වෙත ගෙන ඒමට නියමිතව තිබුණා.
සිද්ධියෙන් 48 හැවිරිදි මවක සහ 13 හැවිරිදි දියණියක ජීවිතක්ෂයට පත්වූ අතර ඔවුන් පානදුර පින්වල ප්‍රදේශයේ පදිංචිකරුවන්.
මේ අතර අවිස්සාවේල්ල - දැරණියගල මාර්ගයේ ඌරුපැලටිය ප්‍ර දේශයේදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරලීයාමෙන් පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලැබුවා.
මෙලෙස අනතුරට පත්ව ඇත්තේ අවමංගල්‍ය පෙරහරක ගමන් කරමින් සිටි වෑන් රථයක්.
මහියංගනයේ සිට හඟුරන්කෙත දක්වා වැලි ප්‍රවාහනය කළ ටිපර් රථයක් පදියපැලැල්ල මලපට්ටාව ප්‍රදේශයේදී නිවසක් මතට පෙරලීයාමෙන් අද අලුයම තවත් අනතුරක් සිදු වුණා.
අනතුරින් ලොරිරථයේ රියදුරු සහ නිවසේ හිමිකරු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.