දුකට බිරිඳත් මිය ගිහින් වසර පහක්..දරුවෝ දෙන්නා අසරණයි
"කිරි අම්මාටයි කිරි අත්තාටයි මේ ණය ගෙවන්න බැහැ.."
"ජනාධිපති මාමා හරි සාධාරණයක් කරලා දෙන්න"
වසර 8කට පෙර මිය ගිය සෙබලෙකුගේ දේපළ පවරා ගන්නා බවට ලිපියක් ලැබීම නිසා අසරණ වූ දරුවන් දෙදෙනෙකු ගැන පුවතක් කැකිරාවෙන් වාර්තා වුනා.
දැනට වසර නවයකට කලින් යුද හමුදාවේ සේවයේ යෙදී සිටියදී ජාතික සංවර්ධන අධිකාරියෙන් රුපියල් 50,000ක ණය මුදලක් ලබාගෙන ඇති සෙබළකු මීට වසර 8කට පෙර මිය ගොස් ඇති බවත් ඒ හිත් වේදනාවෙන් ඔහුගේ බිරියත් මියගොස් වසර පහකට වැඩි කාලයක් බවත් මියගිය සෙබළාගේ නමින් ඇති දේපළ අත්පත් කරගැනීමට කටයුතු කරන බව පවසා ජාතික නිවාස සංවර්ධන අධිකාරියෙන් රතු දැන්වීමක් එවා ඇති බව මියගිය සෙබළාගේ පියා පවසයි.
කැකිරාව මලව ප්රදේශයේ පදිංචි රසික පියන්ත ඒකනායක නමැති යුද හමුදා සෙබළා සේවයේ යෙදී සිටියදී මෙම ණය මුදල ලබාගෙන ඇති මුත් මේ පිළිබඳ කිසිවක් තමන් නොදන්නා බව සෙබළාගේ පියා වන ජේ.බී. අබේතිලක මහතා පැවැසීය. පුතා ජීවත්ව සිටියදී මේ සම්බන්ධයෙන් තමන්ට කිසිවක් නොකී බවත් පුතාගේ හදිසි මියයෑම හේතුව නිසා කුඩා දරුවාට මාස හතක්ව තිබියදී දුවත් මියගිය බව අබේතිලක මහතා පැවැසීය. මේ ලිපිය අධිකරණයේ නියෝගයක් ලෙස අපට එව්වාට මුදල් ගෙවීමට තමන්ට කිසිදු හැකියාවක් නැති බවද අබේතිලක මහතා පැවැසීය.
"දැන් ටික දවසකට කලින් තමයි මේ ලිපිය ඇවිත් තියෙන්නේ. කාටවත් හදාගන්න නොදී දරුවන් ලොකු කරගෙන ජීවත් වෙන අපිට මේ ණය මුදල ගෙවන්න විදියක් නැහැ. මියගිය පුතාට විරුද්ධව කටයුතු කරනවා කිව්වාට පුතා මිය ගිහින් වසර 7ක් විතර වෙනවා. ඇප ලෙස හිටපු බිරියත් මිය ගිහින් දැන් වසර පහක් විතර වෙනවා. මේ දරුවන් දෙදෙනා ඉතාම දුකෙන් හදාගත්තේ. දැන් ලොකුයි. මේ දරුවන්ට මේ මුදල් ගෙවා ගන්න විදියක් නැහැ. අපිත් මේ සම්බන්ධයෙන් කිසිදෙයක් දන්නේ නැහැ. මියගිය දරුවාගේ නිවෙස අත්පත් කරගන්නවා කියලා රතු ලිපි එවන්නේ ඇයිද කියලා මම දන්නේ නැතැයි" ඔහු පැවැසීය.
කාගේවත් රැකවරණයක් නැතිව හිටි තම දරුවාගේ දරුවන් හදා වඩා ගන්නා බව ඔවුන්ගේ කිරි අම්මා ජේ.එම්. සීලවතී මහත්මිය පැවැසුවාය. ඇය වැඩිදුරටත් කියා සිටියේ මේ දරුවන් පරිවාස භාරයට පත් කරන්නට කටයුතු කරද්දී අපි මේ දරුවන් දෙන්නා ලොකු කරගත්තාය. මියගිය රණවිරු රසික පියන්ත මහතාගේ දරුවන් තම පියාගේ සහ මවගේ පින්තූර අතින් ගෙන කියා සිටියේ මේ ගැන සාධාරණයක් කර දෙන ලෙසයි. වයස 14ක් වන අයිනිජා සුගන්ධි ඒකනායක දැරිය කියා සිටියේ මල්ලිගේ සහ මගේ ආරක්ෂාව ලබාදුන් කිරි අම්මාටයි කිරි අත්තාටයි මේ ණය මුදල ගෙවීමට කිසිදු හැකියාවක් නැති බවයි. මේ සම්බන්ධයෙන් ජනාධිපති මාමා හරි මැදිහත් වෙලා තමන්ට සාධාරණයක් කරදෙන ලෙසත්, තමන් මේ නිවෙසින් එළියට ඇද දැම්මොත් යන එන මං නැතිවෙන බැවින් පාසල් යන තමාට හා මල්ලිට මේ සම්බන්ධයෙන් සාධාරණයක් කර දෙන ලෙසත් ඔවුහු ඉල්ලා සිටියහ.
මියගිය සෙබළකුට මේ ආකාරයේ ලිපියක් එවීමට අනුරාධපුර ජාතික නිවාස සංවර්ධන අධිකාරිය කටයුතු කළේ ඇයිද යන්න අනුරාධපුර දිස්ත්රික් කළමනාකරු ආර්.එම්. පියතිස්ස මහතාගෙන් විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ මෙම සෙබළා ණය මුදල ලබාගත් දිනයේ සිට ණය මුදල ගෙවීම පැහැර ඇති බවත් ඒ නිසා අනිවාර්යයෙන්ම ගෙවීමට සිදුවන බවත්ය. මේ සම්බන්ධයෙන් වැඩිදුර යමක් තමන්ට ප්රකාශ කිරීමට නොහැකි බවද ඔහු පැවැසීය.
මෙම පුවත දිනපතා පුවත්පතක පළවී තිබුණා.