ගම්පොල පුපුරැස්ස මාර්ගයේ ඇති අක්කර 50කින් පමණ සමන්විත තේ වතු යායේ හිමිකරු සිටින්නේ දකුණු පළාතේයි.
බංගලාවකින්ද සමන්විත මේ තේ වතු යායේ සේවය කිරීමට සේවකයන් රැසක් සිටින අතර බංගලාව බලා ගැනීමට ද සේවකයන් දෙදෙනකු යොදා ඇත.
මෙම බංගලාවේ වහළයට ගෑවී නොගෑවී ඇති කෙසෙල් පඳුරේ ඇති ගසක විශාල කෙසෙල් කැනක් පැසී තිබූ අතර ඊට අල්ලපු නිවසේ සිටි අය මෙම කෙසෙල් කැනට කුරුමානම් අල්ලමින් සිටින බව කිසිවකුත් දැන සිටියේ නැත.
පසුගිය මස රාත්රියේ කෙසෙල් කැන කැපීමට හොඳම දිනය බව සිතූ අසල්වැසියා ඒ සඳහා තම 14 හැවිරිදි දියණිය හා 16 හැවිරිදි පුතු ද රැගෙන ගස මුලට ගියේ කිසිවකුටත් නොඇසෙන ලෙස කෙසෙල් කැන කැපීමට සැලසුම් කරමිනි.
සැලසුමට අනුව පුතු බංගලාවේ වහළ උඩට යවා කෙසෙල් කැන කැපීමටත් පහළ සිටින පියා හා දියණිය එය බිමට ගැනීමටත් සූදානම් ව සිටියේය.
වහළට නැඟි පුතා කෙසෙල් කැනට පහරක් ගැසුවා පමණි බරට පැහී තිබූ කෙසෙල් කැන මහ හඬනඟා වහළ උඩට වැටුණි.
මින් ඇහැරී ඇති බංගලාවේ සේවකයන් දෙදෙනා විදුලි පන්දම් දල්වා ඇසුරු සැනින් කෙසෙල් ගස මුලට පැමිණියේ කිසිවකුටත් යමක් සිතා ගැනීමට නොහැකි ලෙසය.
වහළ උඩ සිටි කොළුවා හා බිම සිටි දෙදෙනා දුටු සේවකයන් වහා ඔවුන් අල්ලා ගෙන පොලිසි යැමට සූදානම් විය.
මින් තිදෙනාම කලබල වූ අතර දියණියගේ හඬා වැටීම සේවකයන් දෙදෙනාගේ දියණියන් පිළිබඳව ඔවුන්ට සිහිගන්වන්නක් විය.
අවසානයේ තම හාම්පුතාට ඇමතුමක් දී උපදෙස් ලබාගත් මොවුන් දියණිය ගැන සිතා ඔවුන් නිදහස් කළේය.
හාම් පුතාගේ ඊළඟ උපදෙස වූයේ මෙම කෙසෙල් කැන නොවිකුණා එය ඉදෙන්නට හැර සියලු සේවකයන්ට බෙදාහරින ලෙසය.
නමුත් ඉදුනු කෙසෙල් බෙදා හරින අතරේ මෙම සොරකම පිළිබඳව ද ඔවුන් දැනුවත් කරන ලෙසත් පවසා ඇත්තේ මින් ලැඡ්ජාවට පත්වන මේ තිදෙනා නැවත කිසිදින සොරකමේ නොයන ලෙස පාඩමක් ඉගෙන ගනීවි යෑයි සිතායි.
මෙම පුවත දිනපතා පුවත්පතක පළවී තිබුණා.