සමහර ජීවිත දිහා බැලුවාම සතුටින් ඉන්නවා වගේ පෙනුනත් ඒ ජීවිත ඇතුලේ ප්‍රශ්න ගොඩක් එක්ක කඳුළු ගොඩක් සැඟවිලා තියෙනවා.
ඒ විදිහට ජීවිතේ අකමැත්තෙන් වුණත් වැරදි පාරවල් යන මිනිස්සු මේ සමාජය ඇතුලේ ඕනෑ තරම් ඉන්නවා.
අපි ඔබට කියන්න හදන්නෙත් ඒ විදිහට Night Club ජීවිතයට හුරුවෙලා ඉන්න තරුණියකගේ සංවේදී ජීවිත කතාවක්.
කැරෝකේ සමාජ ශාලාවට යන එන අයගේ නිතර ඇහැ ගැටෙන වයසක අම්මා කෙනෙක් සතියට වතාවක් දෙකක් එතැනට ඇවිත් කව්දෝ මුණගැහෙනකම් බලාගෙන ඉන්නවා.
කැරෝකේ කාර් පාක් එක අයිනේ තියෙන දිග තාප්පෙට ඇණ තියාගෙන ඉන්න ඒ අම්මාගේ ඇස් දෙක හරියට පේන්නේ නැති නිසා කැරෝකේ එකට යන එන බොහෝ අය කන බොන දෙයක් නැත්නම් කීයක් හරි දෙනවා.
දවසක් මගෙත් එක්ක කැරොකේ ගිය නාමල් නිතරම වගේ මට කියන කතාවක් මේක...
අතේ තියෙන කීයක් හරි ඒ අම්මට දෙන එක නාමල් එදා ඉඳලම කරපු පුරුද්දක්.
බම්බලපිටියට ආසන්නව තිබුණු මේ කැරෝකේ ශාලාවට එන්නේ ටිකක් අතමිට සරු අය.
එතැන කන බොන දේවලුත් ගිනි ගණන්.
තියෙන්නේ ජින් බ්‍රැන්ඩ්, බකාඩ්, විස්කි වගේ දේවල්. අඩුම තරමින් එක බෝතලයක් නවදාහක් දහදාහක් විතර වෙනවාමයි.
මීට සතියකට විතර කලින් මම නාමල් එක්ක කැරෝකේ එකට ඇතුළු වෙන්න හදනකොටම ඒ අම්මා ඉස්සරහ ඉඳගෙන ඉන්නවා මම දැක්කා.
“අදත් ඒ අම්මා ඇවිත් වගේ...”
එහෙම කියාගෙන නාමල් කීයක්දෝ අතට අරගෙන ඒ අම්මා ළඟට ගියා. ඉන් පස්සේ තමයි අපි කැරෝකේ එක ඇතුළට ගියේ. බටහිර ගීත නාදය නිසා කියන කිසිම දෙයක් ඇහෙන්නේ නැහැ. සිගරැට් දුමෙන් මුළු ශාලාවම පිරිලා.
“කෝ....එයා...”
ඒ නිල්පාට ඇස් දෙක දකින කල්ම මම හිටියේ නොඉවසිල්ලනේ. මම ඇස් කරකව කරකව එයාව හෙව්වා.
රතු දම් සුදු නිල් විදුලි ධාරා ඒ මේ අත යමින් මගේ දෙනෙත් වලට බාධාවක් ඇති කළත් මම ඒ අතරින් ඇය සිටින තැන සොයා ගත්තා.
ඒක නම් කියන්න බැරි ලස්සනක්. එයාගේ ඇස් පිහාටු නිල්ම නිල් පාටයි. ලයිට් එළියට ඇස් දෙක දිළිසෙනවා. අමුතුම ලස්සනක්. කොච්චර බලාගෙන හිටියත් ඇතිවෙන්නේ නැහැ. එයා හිටියේ තවත් කෙල්ලක් එක්ක. මොනවාදෝ කතා කරමින්.
මම ඒ ඇස් දෙක දිහාම බලා සිටියා ඒත් එක්කම එයා එකපාරටම මා දිහා බැලුවා.
මම පුංචි හිනාවක් දැම්මා. ඒත් එක්කම එයා මා ළඟට ආවේ හරියට දන්න කියන කෙනෙක් වගේ. අපි එතැනම තිබුණු කළුපාට සෝපාවට බරදුන්නා. නාමල් ඒ සෝපාවේම කෙළවරක.
“ඉතිං ... කොහොමද? එයා මගෙන් ඇහැව්වා....”
“ඔයා මාව දන්නවද?...”
“නැත්නම්”
“නැහැ වෙන්න බැහැ... ඔයා මගේ ළඟට ආවෙත් අදමයි...” මම එයාට කිව්වා.
“අනේ සොරි... මම හිතුවා...”
“හරි හරි ඒකට කමක් නැහැ. මම එයාගේ අතින් අල්ලගෙන එහෙම කිව්වේ එයා මගේ ළඟින් නැගිටලා යයි කියලා හිතාගෙන...”
“එයා දිග හුස්මක් අරගෙන මගේ ළඟින් ඉඳගත්තා.”
"මොනවද බොන්නේ.."එයා අහපු මුල්ම ප්‍රශ්නේ.
“ඒක නෙමේ ඊට කළින් කියන්නකෝ ඔයාගේ නම මොකක්ද?” මම එයාගෙන් ඇහැව්වා.
“ප්‍රශ්නයට ප්‍රශ්නයකින්ම උත්තර දෙන්න කලින් මොනවද බොන්න ඕන කියලා කියන්නකෝ...” එයා නක්කලයට වගේ මට කිව්වා
“සිම්රෝෆ්”
“රයිට්” කියාගෙන එයා එතැනින් නැගිට්ටා. මම ඒත් එක්කම එයාගේ අතින් ආයේත් අල්ල ගත්තා.
“කෝ නම කිව්වේ නැහැනේ”
“ නෙත්මි”
එහෙම කියාගෙන එයා ගස්සගෙන ගියා.. නෙත්මි, අහල නැති කටට නුහුරු නමක්.. ඒත් එයාගේ ඇස් දෙකට ගැලපෙනම නම. එයා “වොඩ්කා” බෝතලයක් අරගෙන ඇවිත් මගේ ළඟ ඉඳගත්තා. ඒත් මම ඇස් දෙක දිහාමයි බලාගෙන හිටියේ. නාමල් ද කෙල්ලකට තුරුලු වෙලා මොනවාදෝ කුටු කුටු ගානවා... වීදුරුවට වත් කළ “වොඩ්කා” එයා මං අතට දුන්නා...
“ඔයා ඉන්නේ දුකෙන්ද?”
මට නිකමට වගේ ඇහුණා. මොන හේතුවකට මම එහෙම ඇහුවද කියන්න මම දන්නේ නැහැ.
මගේ කතාවෙන් එයා මා දිහා බැලුවේ පුදුමයෙන් වගේ.
“ඇයි එහෙම ඇහැව්වේ?”
“ප්‍රශ්නයට ප්‍රශ්නයකින්ම උත්තර දෙන එක හරිද?”
මම එයාගෙන් ඇහුවා. ඒ පාර නම් එයා කඳුළු පනිනකම්ම හිනාවුණා.
“මගේ වචනවලින් මටම ගහනවා නේද?” එහෙම කිය කියා එයා හිනා වුණා.
“නැහැ. මම නිකමට කිව්වේ... ඔයා කොච්චර හිනා වුණත් ඔයා ඉන්නේ දුකෙන්”
එයා මා දිහා ටිකක් වෙලා බලාගෙන හිටියා.
“ඔයා කොහොමද එහෙම කියන්නේ?”
“මම අහනදේට උත්තර දෙන්නකෝ. ඔයා ඉන්නේ දුකෙන් නේද?”
“ඔව්” එයා ඔලුව හොල්ලලා ඒක පිළිගත්තා.
“ඔයා කොහොමද එකපාරට එහෙම කිව්වේ... ඔයාට මගේ මුහුණෙන් මුකුත් පෙනුණද?”
“මට ඔයාගේ මුහුණ දැක්කම කියන්න පුළුවන්... මම පොඩ්ඩක් සාස්තර කියන්න දන්නවා..”
“අනේ එහෙනම් තව ටිකක් කියන්නකෝ...”
එහෙම කියමින් එයා මගේ ළඟට තවත් ළං වුණා. මම එයාගේ නිල්පාට ඇස්දෙක දිහා බලාගෙන ආයෙත් මෙහෙම ඇහැව්වා.
“ඇත්තම කියන්න ඇයි ඔයා දුකෙන් ඉන්නේ?”
“මට සතුටු වෙන්න බැහැ අයියේ....”
“ඇයි ඒ..”
“ඒක ඔයාට කියන්න බැහැ”
කොච්චර පෙරැත්ත කළත් එයා ඒ කතාව කිව්වේම නැහැ. මම බොරු තරහවක් පෙන්නලා එතැනින් නැගිටලා යන්න හදනකොට එයා මගේ අතින් අල්ලලා මාව ආයෙත් ඒ සෝපාවේම ඉන්දෙව්වා..
“අයියා කියන දේ ඇත්ත.... මම ඉන්නේ දුකෙන් තමයි”
“ඒ ඇයි?”
“මට කාත් කවුරුත් නැහැ අයියේ”
“ඇයි ඔයාගේ අම්මා.... තාත්තා...”
“තාත්තා නැති වුණේ මම චූටි කාලේදි...”
“එතකොට අම්මා?”
“අම්ම ද?”
එයා ඒකට මුකුත් කිව්වේ නැහැ... ටික මොහොතකට පස්සේ එයා මා දිහාට හැරිලා මගේ අත අල්ලගත්තා.
“ඕවා වැඩක් නැහැ අනේ... සතුටු වෙන තැනකට ඇවිත් දුක හිතෙන කතා අහලා ඔයාගේ ෆන් එකත් නැතිවෙයි....”
එයා කුමක් හෝ ලොකු ප්‍රශ්නයක් මගෙන් හංගන්න උත්සාහ කරන බව මට එයාගේ කතාවෙන් තේරුණා. ඒ නිසා මම එයාට ප්‍රශ්නෙන් මගඇරලා යන්න ඉඩ දුන්නේම නැහැ...
“නැහැ කමක් නැහැ මම අහගෙන ඉන්නම් ඔයා කියන්නකෝ...?”
“මොකක්ද?”
“කෝ ඔයාගේ අම්මා”
ඒ අතරතුර තමයි එයා හොයාගෙන තවත් කෙල්ලක් එතැනට ආවේ. ඒ කෙල්ල ඇගේ කනට කොඳුරලා මොකක් හරි දෙයක් කිව්වා.
නෙත්මි එකපාරටම සෝපාවෙන් නැගිටලා එයා ඇඳගෙන හිටිය කලිසම් සාක්කුවේ තිබුණු සල්ලි වගයක් එයාගේ යාළුවට දුන්නා.
දීලා තවත් මොනවාදෝ දෙන්නත් එක්ක කතා කරලා මුකුත් නොදන්නවා වගේ මගේ ළඟට ඇවිත් ආයෙත් මට තුරුළු වුණා. එකිනෙක ගැටෙන වීදුරු හඬින් ද කෙල්ලන්ගේ කෑකෝ ගැසිල්ලෙන් ද සිගරැට් දුමෙන් ද ශාලාව පිරීලා.
එයා “වොඩ්කා” ටිකක් කටේ හලාගෙන මගේ පපුවට හේත්තු වුණා.
“ඇයි ඔයා අප්සෙට් එකෙන්”
මම එහෙම අහද්දී එයා තිගැස්සුණා.
“නැහැ... මුකුත් නැහැ.”
ඇය මොකක්දෝ හඟවන බව මට තේරුණා. මමත් බොරු තරහවක් මවා ගත්තා. හරියට අපි ආදරයෙන් හිටපු ජෝඩුවක් වගේ.
“මට දැන් යන්න ඕන” මම නෙත්මිට කිව්වා.
“ඇයි... ඒ....?”
“නැහැ මම වෙන දවසක එන්නම්”
“ඇයි ඔයාට මාව හොඳ නැතිද....?”
“ඔව්”
“ඇයි ඒ?”
“ඔයා මගේ ප්‍රශ්නයට උත්තරේ දුන්නේ නැහැනේ”
“මොන ප්‍රශ්නයද?”
“කෝ ඔයාගේ අම්මා”
එයා ආයෙත් මා දිහා බලා සිටියා. ඒත් එක්කම ඇගේ දෙනෙත් කඳුළින් තෙත් වුණා. සුදුපාට විදුලි දහරා එයාගේ මුහුණට වැටෙනකොට කඳුළු පිරුණු ඇස් දිලිසුණා.
“මගේ අම්මා ගැන ඇහැව්වා නේද?”
“ඔව්”
“මගේ අම්මා...”
“ඔව් කියන්න”
"මගේ අම්ම තමයි... ඔයාලා එනකොට ඉස්සරහ කාර් පාක් එක ළඟ ඉඳගෙන හිටියේ..."
“මොනවා... අර වයසක අම්මා....”
“ඔව්. ඒ තමයි මගේ අම්මා...”
“එයා මෙතැන මොනවද කරන්නේ...?”
“එයා ඇවිල්ලා ඉන්නේ මගෙන් කීයක් හරි ඉල්ලගෙන යන්න...”
එයාගේ කතාවෙන් මම අන්දමන්ද වුණා. මට එයා ගැන ඇති වූයේ පුදුමාකාර දුකක්.
“ඉතින් ඔයා අම්මට සල්ලි දුන්නද”
“ඔව් රුපියල් දෙදහක් දුන්නා. එයා තව ටිකකින් යයි..”
මට නෙත්මි ගැන පුදුම හිතුණා. මම එයාගෙන් සමාව ගත්තා. අවශ්‍ය නැති දෙයක් ඇදගෙන එයාගේ හිත රිදෙව්වාට.
“නැහැ. ඒකට කමක් නැහැ... මට බොරු කියන්න බැහැනේ”
“එයාගේ ඇස් දෙක හරියට පෙන්නේ නැහැ. සතියකට දෙතුන් වතාවක් එයා එනවා මට කතා කරලා යන්න.”