කලින් කලට ගුවන්තලයේ පෙරළිකාර සංකල්පයන් මවන හිරු එෆ්. එම් ශ්‍රී ලාංකේය ගුවන් විදුලි වංශ කතාවේ නවතම පරිච්ඡේදයක් අරඹමින්, පෙර නොවූ විරූ ආකාරයේ වෙනස්ම අත්දැකීමක් ලබා දෙමින් "ගමේ තරුවට" හිරු ගුවන් තලයේ පෑයිමට අවස්ථාව උදා කර දී තිබෙනවා.
දිවයින පුරා විසිරී පැතිරී සිටින සුවහසක් ශ්‍රී ලාංකිකයින් අතරින් සහජ ගායන දක්ෂතා සපිරි අංකුර ගායන ශිල්පීන්, ශිල්පිනියන් රටටම හඳුන්වා දීමේ අරමුණින් "ගමේ තරුව" නවතම සංකල්පය ජන ගත කිරීමට ආසියානු මාධ්‍ය ජාලය කටයුතු යොදා ඇත්තේ ආසියානු මාධ්‍ය ජාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයකට අනුවයි.
කෙතරම් සහජ දක්ෂතා තිබුණ ද තරුවක් වීමට නම් වාසනා මහිමයක් ද තිබිය යුතුමයි. දිවයිනේ අස්සක් මුල්ලක් නෑර සිටින ගායන දක්ෂතා සපිරි සැමටම එම වාසනාව උදාකර ගැනීමට "හිරු ගමේ තරුව" තුළින් අවකාශය හිමිව තිබෙනවා.
මෙහි දී ඉතා දුර බැහැර සිටින එවැනි සහජ දක්ෂතා ඇති අය සොයා ඔවුන් ළඟටම ගොස් එම හැකියාවන් රටටම පෙන්වන්නට "හිරු" අවස්ථාව උදාකර දී ඇත්තේ මෙරට ගුවන් විදුලි ඉතිහාසයේ තවත් පෙරළිකාර සංකල්පයක් හඳුන්වා දෙමිනි.
සාම්ප්‍රදායික ගුවන් විදුලි කලාව උඩු යටිකුරු කරමින් ගුවන් විදුලි ආයතනයක් සතු දිවයිනේ දැවැන්තම ජංගම වේදිකාව සමඟ ගමින් ගමට යමින් හිරුගේ නාද රිද්මයට ගැයීමට එහි දී ඉදිරිපත්වන ඕනෑම අයෙකුට අවස්ථාව හිමිවනවා.
එලෙස ගායන දක්ෂතා දක්වන ගමේ තරු, රටේම තරු බවට පත්කරන්නට ආසියානු මාධ්‍ය ජාලය සුදානම්.
හිරු ටී. වී, හිරු එෆ්. එම් ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලය පමණක් නොව සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ගමේ තරුවල දක්ෂතා ගැන දැවැන්ත ප්‍රචාරයක් ලබා දී ඔවුන්ව මුළු ලෝකයටම හඳුන්වා දීමට "හිරු ගමේ තරුව" නවතම සංකල්පය තුළින් හැකියාව ලැබී තිබෙනවා.
මෙසේ හිරු ගමින් ගමට යන ගමනේ පෙරේදා (19) බලන්ගොඩ- ඇල්ලේපොළ තලන්ගමට පැමිණි අතර ඊයේ (20) නවක ගායන තරු සොයා ගියේ බලන්ගොඩ- දියවින්න ප්‍රදේශයටයි.
අද ගමේ තරු සොයා බලංගොඩ- කල්තොට වැලිපොත යාය ග්‍රාමයට පැමිණි අතර හෙට එනම්, පෙබරවාරි 22 දින වේලි ඔය ප්‍රධාන මංසන්දියේ දී සහ අනිද්දා එනම්, පෙබරවාරි 23 දෙපෑලමුල්ල මංසන්දියේ දී ගායන හැකියාවන්ගෙන් යුක්ත තරු සොයා යනු ඇති.