තම අණසක පතුරන්නට මෙන්ම තමන්ගේ ඇඟේපතේ හයිය පෙන්නන්නද හුරු වු මිනිස්සු මේ සමාජයේ ඕනෑ තරම් ජීවත් වෙනවා.
ඒ අතර අහිංසකව දිවි ගෙවන්නෝද නැතිවාම නොවේ. වැරැද්දක් කළ කෙනෙකු තමන් වැරැද්දක් කළ බව පිළිගන්නේ කලාතුරකිනි.
මේ එවන් මිනිසෙකුගේ සංවේදී ජීවිත හෙළිදරව්වකි.
ගම කොහේ ද?
"ගම ගැන ලියන්න එපා. තාමත් මගේ පවුලේ අය ජීවතුන් අතර ඉන්නවා.
මම කැමති නැහැ ඒ අයට හානියක් වෙනවට. මොකද ඒ ගොල්ලෝ මාව පවුලෙන් අයින් කරලා තියෙන්නේ.
මම අවුරුදු දහයකින් විතර මගේ අම්මා තාත්තා පවුලේ අයව දැකලා නැහැ. අපේ අක්කා නම් මට ආදරෙන් හිටියා.
ඒත් එයා අකාලේ මැරුණා. ඊට පස්සේ තමයි මගේ ජීවිතේ වැරදි මාර්ගයට යොමු වුණේ."
ඉස්කොලේ ගිහින් තියෙනවද?
"ඔව්. මම ඉස්කෝලේ ගියා . අටේ පන්තියට යනතුරු ඉගෙන ගත්තා.
මම පොඩි කාලේ ඉඳලාම ඉගෙන ගන්න කම්මැලියි . සමහර දවස්වලට තාත්තා ගහලා තමයි මාව ඉස්කොලේ එක්කගෙන ගියේ.
ඒත් මම හොරෙන් පැනලා ඇවිල්ලා කැලේ හැංගිලා ඉන්නවා. පහුවෙන කොට අම්මා තාත්තා මාව අතහැරලා දැම්මා".
ඊට පස්සේ මොකද වුණේ?
"තාත්තා මාව එක්කගෙන ගිහිල්ලා පන්සලේ නතර කළා . තාත්තා මට කිව්වා ඉගෙන ගන්න බැරි නම් උඹ මහණ වෙයන් කියලා. අම්මත් ඒ කියමන අනුමත කළා".
ඉතින් මහණ වුණා ද? .
"ඔව් . පන්සලේ හාමුදුරුවෝ තාත්තගේ සහෝදරයෙක්.
උන් වහන්සේ මාව පැවිදි කළා .ඉන් පස්සේ මාව පිරිවෙනකට ගිහින් ඇරලුවා . ඒත් පිරිත් පොත සුත්‍ර කියවන්න මම ආසා වුණේ නැහැ.
මට ටික දවසකින්ම පැවිදි ජීවිතය එපා වුණා. මම කිහිප පාරක්ම පැනලා යන්න උත්සාහ කළා . අවුරුද්දක්වත් මම පැවිදි ජීවිතයෙ හිටියෙ නැහැ.
අන්තිමට මම පන්සලෙන් පැනලා ගියා".
පන්සලෙන් පැනලා ගිහිල්ලා මොකද කළේ ?
"ඇත්තම කිව්වොත් මොකද කරන්නේ, යන්නේ කොහෙද ,කියලා මට හරි වැටහීමක් තිබුණේ නැහැ.
මම පාරවල් ගානේ ඇවිද්දා. කඩවල් වල කුලියට වැඩ කළා. ඒත් ඒ එක තැනකවත් වැඩිකල් හිටියේ නැහැ. මට හිතුණා මැරෙන්න.
ඒත් ජීවිතේ හානි කරගන්න තරම් මට හයියක් තිබුණේ නැහැ. අන්තිමට මට හොඳ මහත්මයෙක් හමුවුණා. ඵයාට කඩයක් තිබුණා.
මම ඒ කඩේ වැඩ කළා. කාලයක් යනකොට ඒ මහත්තයාට මාව හොඳටම හිතට ඇල්ලුවා .
ඒ නිසා ඔහු මට කඩය බාරදීලා යන තරමට මං ගැන විශ්වාසයෙන් හිටියා.
මුදලාලි මහත්තයාට හිටියේ දුවලා දෙන්නෙක් විතරයි.
ඒ එක දුවෙක් මං ගැන හරිම උනන්දුයි කියලා මට වැටහුණා. ඒත් මම ඒ ගැන උනන්දු වුණේ නැහැ .
මම එහෙම උනන්දු වුණේ නැත්තේ මුදලාලි මහත්තයාට එරෙහිව යන්න බැරි නිසා. ඒත් මට මංගලිකා නෝනගෙන් බේරිලා ඉන්න බැරි වුණා.
එහෙම වුණේ මොකද?
"දැන් මේ වගේ වැහැරිලා හිටියට මම තරුණ කාලේ හරි හැඩයි. මංගලිකා නෝනව බලන්න හැමදාම ආවේ සල්ලිකාරයෝ. ඒත් ඒ ආව කිසි කෙනෙක් මම තරම් හැඩ නැහැ කියලයි නෝනා මට කිව්වේ. ඒ නිසාම වෙන්න ඇති මංගලිකා නෝනා මං ගැන උනන්දු වෙන්න ඇත්තේ. කොහොම හරි මම එයාට කැමති වුණා".
ඒ කියන්නේ.
"මංගලිකා නෝනගේ කීමට මම එයාව ගෙදරින් පන්නගෙන ගියා.
ඒ ගියේ නිකම්ම නෙමෙයි . මුදලාලි මහත්තයාගේ දේවල් කොල්ලකාගෙනයි ගියේ.
මම ඒ හැමදේම කළේ මංගලිකා නෝනගේ ප්ලෑනට.
මම හිතුවා එයා මට බොහොම ආදරයෙන් සලකාගෙන ඉඳියි කියලා. මම හිතුවෙම මංගලිකා නෝනා මට ආදරෙයි කියලා. ඒත් එයා ආදරේ කරලා තිබුණේ මට නෙමෙයි.
එයාට ඕන වුණේ මාව නෙමෙයි . මට වැරදුණා. කෙහොම හරි ඒ බව තේරුම් ගන්න මට කාලයක් ගියා."
කෙහොම ද තේරුම් ගියේ?
අපි ගෙදරකට ආවට පස්සේ මංගලිකා නෝනා මට වෙනස්කම් කරන්න ගත්තා. එතකොට තමයි මට හිතුණේ එයා මාව ප්‍රයෝජනයට අරන් කියලා."
ඒ කියන්නේ?
"මංගලිකා නෝනා මහ වදකාර ගැනියෙක් වගේ හැසිරෙන්න ගත්තේ .
අපි එක ගෙදරක හිටියට අඹු සැමියෝ වගේ හැසිරුණෙත් නැහැ. එයා කිව්වෙම කසාද බඳීන්න බැහැ කියලා.
ඒ නිසා අපි බැන්දේ නැහැ. අපි හිටියේ කුලියට. හැමදේම කළේ මංගලිකාට ඔන විදිහට .
ඒ නිසා මම රූකඩයක් වගේ හිටියා. මම හරියට මානසිකව දුක් වින්දා. මුදලාලි මහත්තයා දවසක් මාව හොයාගෙන ආවා.
මගෙ කම්මුලට ගහලා තිත්ත කුණුහරුපෙන් බැනලා ගියා.
ඊට දවස් දෙකකට පස්සේ මංගලිකා මාව දාලා යන්න ගියා. එයා ලියුමක් ලියලා ගිහින් තිබුණා.
එයා ගිහින් තිබුණේ ඉස්කෝලේ කාලේ ඉඳන් යාළුවෙලා හිටිය කොල්ලා එක්ක.
ඒ කොල්ලා අඩු කුලේක නිසා මුදලාලි මහත්තයා කැමති වෙලා නැහැ.
කොහොම හරි මගේ ජීවිතේ ආයෙම කඩා වැටුණා. මට හිතුණේ මම නෝන්ජල් මිනිහෙක් කියලා. මට හිතුණා මම සිරා පොරක් වෙන්න ඕන කියලා."
සිරා පොරක් කියන්නේ කවුද ?
"පාරේ යනකොට මිනිස්සු බය වෙන , චණ්ඩියෙක් වෙන්න ඕන කියලා හිතුවා. මම චණ්ඩියෙක් වුණා . ඇත්තටම මට මිනිස්සු බය වුණා."
ඒ කොහොමද?
"යන එන මං නැතිව හිටපු මම ඒ පැත්තේ හිටපු චණ්ඩියෙක් ගාවට ගියා. මුලින් එයා මාව ගන්න අකමැති වුණා. පස්සේ මම මං ගැන ඇත්තම කිව්වා . මට කාත් කවුරුවත් නැහැ කියලා කිව්වා . මැරයෙක් උනත් සරා අයියා මං ගැන අනුකම්පා කළා.
සරා අයියා බිස්නස් ගොඩාක් කළා. ඒ එකක්වත් හොඳ ඒවා නෙමෙයි. සරා අයියට ගැනු හිටියා.
සමහර අයව විකුණුවා .ඒ වගේම හොර අරක්කු බිස්නස් ගංජා බිස්නස් කෙරුවා.
මම මේ හැම දෙයකටම සම්බන්ධ වුණා. ඒ නිසා මමත් මැරයෙක් වුණා .ටික කාලයක් යනකොට සරා අයියා එයාගේ හොඳම ගෝලයා විදිහට තමයි මට සැලකුවේ.
ඒ නිසා සමහර වෙලාවට සරා අයියා වෙනුවෙන් මම හිරේ ගියා. මට පවුලක් නැහැ.ඒත් මට කිසිම දේකින් අඩුවක් නැහැ.
මම මේ පාරත් සරා අයියගේ වරදකට තමයි හිරේ ආවේ. ඉඳලා හිටලා හිරේ එන එක ජීවිතේට වෙනසක් වගේ මම දකින්නේ. දැන් මට වයස අවුරුදු පනහට කිට්ටුයි.
සරාට අයියේ කිව්වට එයා මට වඩා බාලයි. සරා අයියා ,නිශාන්ති ,කාන්ති එනවා මාව බලලා යන්න".
නිශාන්ති,කාන්ති කියන්නේ කවුද?
"ඒ ගොල්ලෝ තමයි මම එළියේ ඉන්නකොට මා ගැන බලා ගන්නේ. ඒකයි මම කිව්වේ මට කිසිම අඩුවක් නැහැ කියලා. දැන් ඉතින් මේ ජීවිතේ මොනවා වුණත් එකයි."
සතුටෙන්ද ඉන්නේ.
"අපොයි ඔව් මම සතුටෙන් ඉන්නේ."