‘‘මම පුංචි කාලේ සිටම සතුන්ට ආදරය කරන කෙනෙක්“
සතුන්ට වෙද හෙදකම් කරන , අසරණ සතුන්ට පිහිටවෙන තරුණයෙක් පිළිබඳව අපට වාර්තා වුණා. ඔහු නමින් ධම්මික බණ්ඩාර අමරසිංහයි. ඔහු ජීවත් වන්නේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ. එම ප්‍රදේශයේ ජීවත් වෙන අසරණ සතුන්ට පිහිට වෙන එක ධම්මිකගේ විනෝදාංශය.
මේ වෙනකොට අසරණ ව තුවාල වූ සතුන් රාශියකට ඔහු පිහිට වෙලා.
ධම්මික කියන්නෙ තමන්ගෙ ජිවිතේ ගැට ගහන්න වඩුවැඩ කරන සාමාන්‍ය ගමක හැඩුනු වැඩුනු තරුණයෙක්.
ලොකු මාසික පඩියක් ලැබෙන කෙනෙකුත් නෙමෙයි. ධම්මික කියන විදිහට ඒ ලැබෙන සුළු මුදලින් හතරෙන් එකක් වියදම් කරන්නෙ මේ සත්තුන්ගෙ ජීවිත බේරගන්නලු.
මොන විදියට තුවාලවෙලා හිටියත් මේ අසරණ සතුන්ට බෙහෙත් කරලා හොඳ කරන එක තමයි ධම්මිකගේ උපරිම උත්සාහය.
ඔහොම ඉන්නකොට ධම්මිකට අපූරු මිතුරෙක් හමුවෙලා තියෙනවා. මිතුරෙක් කිව්වට මෙයා විශාල නාගයෙක්.
ධම්මික කියන විදිහට එම නාගයා අඩි 6ක් විතර දිගලු. ඒ නාගයෙකුගේ උපරිම වර්ධනය කියල තමයි ධම්මික කිවුවේ.
ඒ නාගයා ඉඳලා තියෙන්නේ ධම්මිකගේ අසල්වැසියෙකුගේ නිවෙසක වහලේ. නයා ගැන තොරතුරු දුන්නම ධම්මික එහෙ ගිහින් තමයි අල්ලගෙන පස්සේ මාදුරුඔය ජාතික වනෝද්‍යානයට ගිහින් අතඇරලා තියෙන්නේ.
හැම පෝය දවසකම දම්මිකට මේ වගේ නාගයෙක් හම්බවෙනවලු. ඒ විශේෂ සිදුවීම ගැන ධම්මිකට අදහා ගන්නත් බැහැලු.
කොහොම වුණත් මිනිසුන්ගේ අවබෝධයක් නැති නිසා අසරණ සතුන් විශාල සංඛ්‍යාවක් මේ වන විටත් දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ මරා දමනවා කියලත් ධම්මික අපිත් එක්ක කිව්වා. අසරණ සතුන්ගේ ජීවිත නිරපරාදේ විනාශ කරන්න එපා කියලත් ධම්මික ඉල්ලා සිටිනවා.