රංගන ශිල්පියෙකු ලෙස තරුණ රසික හදවත් අතරේ ජනප්‍රියවුණු කලාකරුවෙක් තමයි කාවිංග කියන්නේ.
ඉතින් ඔහු මේ අවුරුද්දේ සිය ජීවිතයේ වැදගත් තීරණයක් ගන්න යනවා කියලා ආරංචිවුණා.
ඒ කියන්නේ ඔහු විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලා කාවිංග කියලා තිබුණා.
ඔහු මේ ගැන සහ තවත් කලා කටයුතු රැසක් පිළිබඳව තොරතුරු සඳහන් කරලා පුවත්පතකට මෙලස අදහස් දක්වලා තිබුණා.
කාවිංග මේ දවස්වල මොකද කරන්නේ ?
මේ දවස්වල පුරුදු විදියට රූගත කිරීම් තියෙනවා. ඒ වගේම රූපවාහිනි වැඩසටහන්වලටත් ආරාධනා කිහිපයක් ලැබුණා. ඉතිං සුපුරුදු විදියට වැඩ ටික කරගෙන ඉන්නවා.
කාවිංග කියන්නේ කාලයක් ක්‍ෂේත්‍රයට නැතුවම බැරි වුණු නළුවෙක්. තාමත් එහෙමද ?
තාමත් එහෙමයි කියලා මම විශ්වාස කරනවා. ගිය අවුරුද්දෙත් වැඩ කීපයක්ම කළා. ඒ වැඩ කටයුතු ටිකත් මේ මාසේ අවසානයෙදි දැකගන්න පුළුවන්. ඉතින් මම හිතනවා තාමත් මම නැතිවම බැරි නළුවෙක් කියලා.
ජනප්‍රිය රංගන ශිල්පියෙක් වුණු කාවිංගට මේ වසරෙදිවත් හොඳම නළුවා වෙන්න වාසනාවක් තියෙයිද ?
ඕනම රංගන ශිල්පියකුගේ, ශිල්පිනියකගේ අවසාන අභිප්‍රාය සම්මානයක් තමයි. මමත් ඒ දේ බලාපොරොත්තු වෙනවා. නමුත් අපට සම්මාන දීම හෝ නොදීම ගැන තීරණය කරන්නේ විනිශ්චය මණ්ඩලය. විනිශ්චය මණ්ඩලය ගැන මට අදහසක් නෑ. නමුත් හීනයක් තියෙනවා. ජීවිතේ කියන්නේ පිටපතක්නේ. ඒ පිටපතේ කොහේහරි තැනක ඒක ලියැවිලා ඇති. කාවිංග පෙරේරට ඒ සම්මානය දෙනවද නැද්ද කියලා දෙවියෝ තීරණය කළ දාට සම්මානය මට ලැබෙයි.
ක්‍ෂේත්‍රය තුළ වෙනසක් කළ හැකි චරිත රඟපාන්න කාවිංගට අවස්ථාව ලැබිලා තියෙනවා නේද ?
මම පණ්ඩිතකම් කියනවා නෙවෙයි. නමුත් අපිට ලැබෙන හැම චරිතයකින්ම වෙනසක් කරන්න පුළුවන්. කලාකරුවෝ වුණාම චරිතය තුළින් සමාජ පරිවර්තනයක් කළ යුතුයි.
අම්මා සහ තාත්තා නැති ගෙදරක එකම පිරිමි දරුවා විදියට වගකීම් දරාගන්නේ කොහොමද ?
මුලින්ම වගකීම් දැනුණේ තාත්තා නැති වුණු වෙලාවේ. අම්මා සහ නංගි බලා ගැනීම, කාලය කළමනාකරණය කර ගැනීම ගැන මට ඒ කාලේ හුඟක් ප්‍රශ්න තිබුණා. මගේ වැඩත් එක්ක මට ගෙදර එන්න රෑ වෙනවා. ඒ වෙලාවට අම්මයි, නංගියි තනියම. නමුත් මම හිතන්නේ නංගියි, අම්මයි මාව තේරුම් ගත්තා. දැන් මම වගකීම් දරන්න ආසයි. මට එපාවෙලා නෑ.
කාවිංග විවාහ වෙලා පවුල් ජීවිතේ වගකීම් ගන්න ලෑස්ති වෙනවා කියලත් ආරංචියි ?
ඔව්, ඒක ඇත්ත. විවාහ වෙන්න සූදානමක් තියෙනවා. මුලින්නම් මට විවාහ වෙන්න එහෙම ලොකු අදහසක් තිබුණේ නෑ. ගෙදර අය යාළුවෝ පවා අහද්දී මම කිව්වේ මම තනියම ඉන්නවා කියලා. මම මාධ්‍යවලට පවා කිව්වේ මම විවාහ වෙන්නේ නෑ කියලා. නමුත් මම මං ගැනම හිතුවා. හිතලා විවාහ වෙන්න තීරණය කළා.
විවාහ වෙන්නේ නෑ කියන තීරණයේ හිටියේ ආදරයේ වැරදුණු තැන් තිබුණු නිසාද ?
ජීවිතේදී ඕනම මනුස්සයකුට වැරදීම් සිදුවෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. එහෙම වරදින්නේ නැති මිනිස්සු හරිම අඩුයි. ඒ වැරදීම් තුළින් එවැනි වැරැදි නැවැත නොකර ඉන්න පාඩම් ඉගෙන ගත්තා. ඒ පාඩම්වලින් ජීවිතේ හදාගත්තා. වරදින්න ඕනනේ වැරදි හදාගන්න.
මේ වතාවේ ගත්ත තීරණය නිවැරැදි තීරණයක් කියලා හිතනවද ?
ඔව්. මේ පාර මම ගත්ත තීරණය වරදින එකක් නෑ. මම එහෙම හිතනවා. මොකද අපි කාලයක් තිස්සේ යාළුවෝ විදියට ආශ්‍රය කළා. ඒ නිසා එයා මං ගැන වගේම මම එයා ගැන හොඳට දන්නවා. ගත්ත තීරණය හොඳ වෙයි. බලමු කාලය හැමදේම නිවැරැදිව විසඳයි කියලා හිතේ විශ්වාසයක් තියෙනවා.
ජීවිතයට එකතු වෙන්න යන කෙනා ක්‍ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක්ද ?
ඇත්තටම මේක විවාහ යෝජනාවක්. එයා ක්‍ෂේත්‍රයට සම්බන්ධ නැහැ. මම හිතනවා එයා මගේ අඩුපාඩු දුර්වලකම් තේරුම් අරගෙන ජීවත් වෙයි කියලා.
ඒ කියන්නේ කාවිංග අඩුපාඩු දුර්වලකම් තියෙන කෙනෙක් කියන එකද ?
අපොයි ඔව්. මගේ ලොකුම වැරැද්ද තමයි ඕනවට වඩා මිනිස්සුන්ව විශ්වාස කරන එක. මම මිනිස්සු තෝරලා බේරලා ආශ්‍රය කරන්නේ නෑ. ඒ නිසා සමහර තැන්වලදී ලොකු සිත් රිදීම් වෙලා තියෙනවා. ඒ නිසා මම මුලින්ම මගේ මෝඩ වැඩ ටික එයාට කිව්වා. එතකොට මම මෝඩයා වගේ වැඩ කරද්දී එයා මාව හරි පාරට ගනියිනේ.
එතකොට කාවිංග විවාහ වෙන්න තීරණය කළේ නංගි වෙනුවෙන් කරන්න අවශ්‍ය යුතුකම් ඉෂ්ට කරලද ?
මම විශ්වාස කරනවා අයියා කෙනෙක් විදියට මම නංගිට සියලුම යුතුකම් ඉටුකළා කියලා. එයාට හොඳ බෝයි කෙනෙක් ඉන්නවා. නංගිගේ වගකීම් දරන්නේ අපේ මහප්පා. කොහොමත් අම්මයි, තාත්තායි ජීවත් වෙලා ඉද්දී අපි වෙනුවෙන් හැම යුතුකමක්ම ඉටුකළා.