සරුසාර අස්වැන්නක් ලබාදීම වෙනුවෙන් හින්දු භක්තිකයන් සූර්ය දෙවියන් නමදින තෛපොංගල් උත්සවය අදට යෙදී තිබෙනවා.
ඒ වෙනුවෙන් අද හින්දු භක්තිකයන් තෛපොංගල් උත්සවය මහත් හරසරින් සමරනු ලබනවා.
තිරසර යුගයක් කරා ලෝකය ප්‍රවේශ වන මොහොතේ තෛපොංගල් උළෙල ඉතිහාසය පුරා රැගෙන ආ පණිවුඩය වඩා ශක්තිමත් වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
ඒ, අද තෛපොංගල් සමරන සහෝදර දෙමළ ජනතාව වෙත සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින්.
මිනිසා සහ සොබාදහම අතර වන සංවේදී, කෘතවේදීත්වයෙන් අද දිනය වර්ණවත් වන බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.
මිනිසා සහ විශ්ව දායාද අතර සම්මුතිය ද මෙහිදී යාවත්කාලීන වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැඩිදුරටත් සඳහන් කරනවා.
මේ අතර, අද සැමරෙන තෛපොංගල් උත්සවය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසන්නේ වාර්ගික, ආගමික සහ සංස්කෘතික භේද ඉක්ම වූ සාමකාමී රටක් ගොඩනැගීමට අද දිනයේ අදිටන් කර ගත යුතු බවයි.
මිනිස් සමාජය තුළ මෙන්ම සමස්ත පරිසරය සමඟ ද සංහිදියාවෙන් දිවි ගෙවීමේ වැදගත්කම තෛපොංගල් උත්සවය සිහි ගන්වන බව අග්‍රාමාත්‍යවරයා සදහන් කරනවා.
තෛපොංගල් දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරන විපක්ෂ නායක ආර්.සම්බන්ධන් ප්‍රකාශ කරන්නේ තෛපොංගල් සමරන වසරේ පළමු මාසය බලාපොරොත්තු රැසක් ඇති වන කාලයක් බවයි.