ශ්‍රී ලාංකේය සංගීත ලෝකයේ අමරණීය නාමය වූ අභාවප්‍රාප්ත ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව් ඩී. අමරදේවයන්ගේ ජිවිත ගමනේ සෙවනැල්ල වුණේ විමලා අමරදේව මැතිණියයි.
අමරදේවයන්ගේ සංගීත ලෝකය දික්විජය කරන්නට ඇය අවුරුදු 53ක විවාහ ජීවිතය පුරාවටම සවියක් වී තිබුණා.
දරුවන් තිදෙනෙකුද ලොවට දායාද කර ඇති මේ සොදුරු යුවළගේ හමුවීමද අහඹු සිදුවීමක්.
2013 වසරේ ඔවුන්ගේ 50 වැනි විවාහ සැමරුම අත්තිඩිය මිහිදු සෙත්මැදුර රණවිරු පියසේදී සමරද්දී විමලා අමරදේව මැතිණිය ඔවුන්ගේ ආදර අන්දරය දිගහැර තිබුණේ මෙලෙසින්.
‘ඒ කාලේ ඩබ්ලිව්.ඞී. ඇල්බට් පෙරේරා කියල හඳුන්වපු මගේ මහත්තයා සංගීත ශිල්පියෙක් විදිහට ප්‍රසිද්ධයි. මම එතකොට මියුසියස් විද්‍යාලයේ ඉගෙන ගනිමින් සිටි ශිෂ්‍යාවක්.
මමත් නැටුම් වලට, ජනගී ගායනයට හරිම දක්ෂයි.
මොරටුව කොරලවැල්ලේ ශ්‍රී සද්ධර්මෝදය ඉස්කෝලේ තිබුණු උත්සවයකට නැටුම් අංගයක් ඉදිරිපත් කරන්න කියල අපේ ඉස්කෝලෙටත් ආරාධනාවක් කරලා තිබුණා.
ඉතිං ඒකට යවපු කණ්ඩායමේ මාත් හිටියා. ඒ උත්සවය ගැන හරියටම දැනගත්තේ එතනට ගියාම තමයි.
ප්‍රේමකුමාර එපිටවල, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් ඇතුළු පිරිසක් තමා සංවිධානය කරත තිබුනේ.
ඩබ්ලිව්.ඞී. ඇල්බට් පෙරේරා සංගීත ශිල්පියාව වැඩිදුර සංගීත අධ්‍යාපනය සඳහා ඉන්දියාව බලා පිටත් කර හැරීම වෙනුවෙන් තමා ඒ උත්සවය සංවිධාන කරලා තිබුණේ.
එම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා විදිහට උත්සවේට ඇල්බට් පෙරේරා එනකොට මල්මාලාව පළඳන්න කෙනෙක් අපි අතරින් තෝරගත්තේ මාව.
ඒකත් පුදුම සිදුවීමක්. ඉතිං මම මාල් මාලාව ඔහුට පැළඳුවා. එදා මාත් එක්ක ඔහු කතා කළා.. මාව ඔහුට හොඳට මතක හිටියත් එදා වැඩි විශේෂත්වයක් තිබුනෙ නෑ.
ඒත් පස්සේ මම ඔහුගේ සින්දු සැරින් සැරේට අහන්න ගත්තා. ශාන්ත මේ රෑ යාමේ සිංදුව ගුවන් විදුලියේ යද්දි මට අමුතු හැඟීමක් දැනුනා.
ඇල්බට් පෙරේරා ඒ වෙනකොට ඉන්දියාවට ගිහින්. මාත් විවිධ දේවල්වලට යොමුවෙලා තිබුණා.
මම ටවර්හෝල් නාට්‍යවල රඟපෑවා නැටුම් කළා සංගීතය කළා. ඔහු නැවතත් ලංකාවට ආවම ජන ගී ඇසුරු කරගෙන යම් යම් නිර්මාණ කළා.
එම ජන ගායනාවලට මාවත් සම්බන්ධ කරගත්තා. මේ ජන ගීවලින්ම තමා අපේ ආදර කතාව ගොඩනැගුනේ.
විවාහයෙන් පස්සේ මේ හැමදෙයක්ම පෙට්ටගමක දාලා ලොකු ඉබ්බෙක් දාලා පැත්තක තිබ්බා.