ආදරේ කියන්නේ සුන්දර හැඟීමක්. හැබැයි ඒ හැඟීම බුද්ධිය යටපත් කළොත් ජීවිතේ වරදින තැන් වැඩියි.
මොකද හැඟීමට වහල්වෙලා ගන්න සමහර තීරණ නිසා තරුණ ජීවිත අකාලයේ විනාශ වුණු සිද්ධි ගැන නිතරම අපිට අහන්න දකින්න ලැබෙනවා.
අපි අද ඔබට කියන්න යන්නෙත් ඉවසීමක් නැතිව ආදරේ නිසා අන්ධ වෙලා ජීවිතේ වරද්දගත්ත තරුණයෙකුගේ සංවේදී හෙළිදරව්වක් ගැනයි.
හැමෝම හිතුවේ මම මහ නරක කෙනෙක් කියලා. තරුණ වයසෙදි මම කෙනෙක්ට ආදරය කළා.
මට එහෙම කරන්න අයිතියක් තියෙනවනේ. ඔහු අසන්නේ දැඩි හඩකිනි.
ඉතිං ඒ ගෑණු ළමයා කෝ..?
ගෑණු ළමයා ඉන්නවා. ඒක ටිකක් දිග කතාවක්.
මම ඒ කෙල්ලත් එක්ක යාළුවුණා. පවුල් දෙකෙන්ම අය ඒකට විරුද්ධ වුණා.
හේතුව..?
ඒ වෙනකොට ඉස්කෝලෙ යනවා. එයාලගේ අම්මා තාත්තා හැමෝම මට විරුද්ධ වුණා. ඒත් මම මගේ අදහස අත්හැරියේ නැහැ.
මම එයාට ආදරේ කළා. එයත් මට හරි බැඳීමෙන් හිටියා. ඒ කෙල්ල මට වඩා හුඟක් බාලයි. ඒත් අපි අතර අවබෝධයක් තිබුණා කියලා මම හිතනවා.
කෙල්ල ලස්සනද..?
හුඟක්ම ලස්සන නැහැ. නමුත් ඒ මුහුණේ හරි අහිංසක පෙනුමක් තිබුණා. මම ආස කළේ ඒ අහිංසක පෙනුමට. ඒ හින්දමයි මට එයාව මගේ කරන්න ඕන වුණේ.
දවසක් මම එයාට කතා කළා මගෙත් එක්ක යන්න. මටත් හරිහමන් රස්සාවක් තිබුණේ නැහැ.
ඒත් මට සමීරා එක්ක ආදරෙන් ළඟට වෙලා ඉන්න ඕන වුණා.
ඒත් එයා කැමති වුණේ නැහැ. මම එයාගේ හිත කොහොමහරි වෙනස් කරන්න හිතුවා.
සමීරා ටිකක් හිතුවක්කාරයි.. මම දවස් දෙකක් එයාව මගඇරලා හිටියා.
ඒත් මම කොහේ හරි හැංගිලා එයා ඉස්කේලේ ඇරිලා එනවා හොරෙන් බලාගෙන හිටියා.
එයා ගෙදර ගියේ එක්කෝ අම්මා එක්ක නැත්නම් තාත්තා එක්ක.
මම සමීරාව හිතෙන් අයින් කරන්න උත්සහ කෙරුවා.
ඒත් මට හිත හදාගන්න අමාරුවුණා මම යාළුවොත් එක්ක සෙට්වෙලා හොඳට බිව්වා.
මට මගේ හිත පාලනය කරගන්න බැරිව ගියා. මම තව යාළුවෙකුත් එක්ක සමීරාගේ ගෙදර ගියා. එදා හොඳටම රෑ වෙලා තිබුණේ.
මම එයාගේ අම්මයි තාත්තයි එක්ක තරහක් තිබුණේ. මම දන්නෑ මට මොනවා වුණාද කියලා.
මම සමීරාව ඉල්ලලා ඒගොල්ලෝ එක්ක රණ්ඩු කෙරුවා. අහල පහළ ගෙවල්වල මිනිස්සුත් එකතු වුණා.
මිනිස්සු සමීරගේ තාත්තගේ වචනය තමයි විශ්වාස කළේ. ගමේ මිනිස්සු අපිට ගහන්න ආවා. එදා අපි ගමේ මිනිස්සුන්ට බයේ ආවා.
ඉන්පස්සේ මට සුමාන ගාණක් යනතුරුම සමීරා බලන්න බැරිවුණා.
යාළුවෙක් දවසක් මට කිව්වා සමීරාගේ අම්මා එයාව ඉස්කෝලෙන් අස්කරගෙන ගියා කියලා.
මම වටින් පිටින් හොයලා බැලුවා.
එතකොට තමයි දැනගත්තේ සමීරාව නෑයෙක්ගේ ගෙදර නතර කරලා කියලා..
මම ඒ වෙනකොට එයාගේ දෙමව්පියෝ එක්ක හොඳටම තරහින් හිටියේ.
මගේ බලාපොරොත්තුව තිබුණේ කොහොමහරි එයාව මගේ ළඟට ගන්න.
ඊට පස්සේ මොකද කළේ..?
මම ටික දවසක් යනතුරු නිහඩව හිටියා. හරියට මට මගේ ජීවිතේ සමීරා කියලා කෙනෙක් හිටියද කියලවත් මතක නැති ගාණට මම හිටියා.
අන්තිමට මං රස්සාවක් හොයාගත්තා ටවුමේ රෙදි සාප්පුවක.
අපේ ගෙදර අයත් හිතුවා මම හැමදෙයක්ම අමතක කරලා දාලා ඉන්නේ කියලා.
ඒත් මම තනියම ප්ලෑන් කෙරුවා සමීරාව හමුවෙන්න ක්‍රමයක්.
ඔහොම ඉන්න අතරේ තමයි සිංහල අවුරුද්ද ආවේ.
දවසක් රෙදි කඩේ ඉන්නකොට මම දැක්කා සමීරා වැඩිහිටි ගෑණු කෙනෙක් එක්ක පාරේ යනවා.
ටිකකට එළියට යනවා කියලා මුදලාලිට කියලා මම පාරට බැස්සා.
මම සමීරාගේ පස්සෙන්ම ගියා. මට පුළුවන් වුණා පැය ගාණකට පස්සේ සමීරට ළංවෙන්න.
සමීරා ටවුමට ඇවිත් තිබුණේ එයාගේ නැන්දා එක්ක.
නැන්දා බඩු ගන්නා තුරු සමීරා කඩේ එහෙට මෙහෙට ඇවිද ඇවිද හිටියා.
මාව දැක්කා විතරයි කෙල්ල එකපාරටම අඩන්න ගත්තා.
මටත් ඉහිළුම් නැතිව ගියා. මම ඒ අත්දෙකෙන්ම අල්ලගෙන පැත්තකට එක්කගෙන ගිහිල්ලා ඇහුවා දැන්වත් මාත් එක්ක එනවද කියලා. මට පුදුම වුණා.
ඇත්තටම එයා මා එක්ක එන්න කැමති වුණා. මම එවේලේම එයාව අතින් අල්ලගෙන කඩෙන් එළියට බැස්සා.
යන්නේ කොහෙටද කියලවත් අරමුණක් තිබුණේ නැහැ.
මම සමීරා එක්ක කොළඹ බස් එකකට ගොඩවුණා. අපි අතර කතාබහක් තිබුණෙම නැහැ.
හැන්දෑවෙලා තිබුණේ. කොළඹින් බැහැලා මම නුවර යන බස් එකකට නැග්ගා.
කෙහෙද මේ යන්නේ. සමීරා මගෙන් ඇහුවේ මගේ අත තදකරලා අල්ලන ගමන්.
කෙහෙ හරි යමු.. මම එහෙම කිව්වේ හිනාවෙලා. මට ඇඳුම් මොකුත් නැහැනේ.
සමීරා එහෙම කිව්වමයි මටත් මතක් වුණේ.
මම මගේ කරේ තිබුණු චේන්පොට උකස්පොලකට තිබ්බා.
ඊට පස්සේ කඩේකට ගිහිල්ලා සමීරාට ඇඳුම් දෙකකුත් ගත්තා. මටත් ඇඳුමක් ගත්තා.
ආයෙමත් අපි නුවර යන බස් එකකට ගොඩවුණා. බස් එකේදි සමීරා කිසිම කතාවක් නැතිව මට තුරුළුවුණා.
මමත් එයාව බොහෝම පරිස්සමින් ළඟින් තියාගත්තා.
අපි යනකොට රෑ වුණා.
නුවර කවුද හිටියේ..?
මගේ අම්මගේ නංගි. ඒ කියන්නේ පුංචි අම්මා. එයා ඉන්නේ නුවර ටවුන් එකෙන් ඇතුලට වෙන්න තියෙන ගමක. අපි එහෙ යන්න තීරණය කළා. අපි පුංචි අම්මගේ ගෙදරට යනකොට රෑ 10 ත් පහුවෙලා.
මාව දැකලා පුංචි අම්මා හොඳටම බයවුණා.
ඇයි පුතේ මෙහෙම නොහොබිනා වැඩක් කළේ. ගෙදරින් දන්නවද..?
පුංචි අම්මා අහපු ඒ ප්‍රශ්න එකකටවත් මට දෙන්න උත්තර තිබුණේ නැහැ. එදා මමයි සමීරායි නිදියගත්තේ තැන් දෙකක.
පුංචි අම්මා සමීරාව එයාගේ ළඟින් නිදිකරව ගත්තා.
පහුවදාට එළිවුණාම පුංචි අම්මා ආයෙත් ප්‍රශ්න අහන්න ගත්තාම මම එයාට මුල ඉඳලම හැමදේම කිව්වා.
මට උඹලව වැඩි නැහැ. ඔන්න ඔහේ මෙහෙට වෙලා හිටපල්ලා. තියෙන හැටියට මම උඹලා දෙන්නට කන්න දෙන්නම්.
අනික ඔක්කොටම කළින් උඹලා දෙන්නව බන්දනා දෙන්න ඕනේ.
පුංචි අම්මා එහෙම කිව්වට ඒ වෙනකොටත් සමීරාගේ වයස සම්පූර්ණ වෙලා තිබුණේ නැහැ.
ඒ නිසා අපිට බලා ඉන්න වෙනවා කියලා මම දැන් හිටියා. බාප්පා මට රස්සාවක් හොයලා දුන්නා.
සමීරා පුංචි අම්මා එක්ක ගෙදර හිටියා. දවසක් පුංචි අම්මා නුවර ගියා. එදා මම වැඩ ඇරිලා ඉක්මනින් ගෙදර ආවා.
බාප්පා හිටියෙත් නැහැ. සමීරායි මායි හිටියේ අපේම ලෝකයක.
අපි කසාද නොබැන්දාට තව දුරටත් දෙන්නෙක් නොවන බව එදාතේරුම් ගත්තා.
දවසක් දෙකක් ගෙවිලා ගියා. එක ඉරිදා දවසක්. පුංචි අම්මගේ ගෙදර ඉස්සරහා වාහනයක් නතර වුණා. මට පුදුම හිතුනා.
ඇවිත් හිටියේ සමීරගේ අම්මයි තාත්තයි නෑයොයි.
ඒ මදිවට අපේ අම්මා තාත්තාත් ඇවිත් හිටියා. පුතේ උඹ ඔය කෙල්ලව ඒකිගේ දෙමව්පියන්ට දීපන්.
වයස හරි ගියාම උඹටව බන්දලා දෙනවා කියන්නේ. අපේ අම්මා මගේ ඔළුව අතගාලා පින්සේණ්ඩු වෙන්න ගත්තා.
මම ඒ වෙලාවේ හැමෝවම විශ්වාස කළා. සමීරා අඩ අඩ ගිහිල්ලා වාහනේට නැග්ගා. මම පුංචි අම්මලගේ ගෙදර නතර වුණා.
අපේ අම්මයි තාත්තයිත් නතර වුණා. සමීරා නොපෙනී යනවා මම බලාගෙන හිටියේ දුකෙන්.
ඊට පස්සේ මොකද වුණේ...?
ඊට පස්සේ තමයි හොඳම දේ වුණේ. ඒ ගොල්ලෝ සමීරාවත් අරගෙන පොලිසි ගිහින් තිබුණා.
මම එයාව බලහත්කාරයෙන් අරගෙන ගිහින් දූෂණය කළා කියලා පැමිණිල්ලක් දාලා තිබුණා.
පොලිසියෙන් ක්‍රියාත්මක වුණේ ඒ කටඋත්තරයට. සමීරා උසාවියෙදිත් සාක්ෂි දුන්නේ මට විරුද්ධව.
එයා එයාගේ ගෙදර අයට බයවුණා. අන්තිමට මට හිරේ එන්න වුණා.
සමීරාට මොකද වුණේ..?
මම හිරේ ආවට පස්සේ තමයි දැනගත්තේ සමීරට මම නිසා දරුවෙක් ලැබෙන්න හිටියා කියලා.
එයාගේ අම්මා තාත්තා දරුවා නැති කරන්න හුඟක් උත්සහ කරලා තියෙනවා.
ඒත් සමීරා ඒකට කැමති වෙලා නැහැ. අන්තිමට සමීරාට පුතෙක් ලැබිලා.
මට ආසයි දරු පැටියගේ මුහුණ බලන්න. ඒත් ඉඩක් ලැබුණේ නැහැ. ඒත් මම මෙතනින් එළියට ගියාම සමීරාව බාරගන්නවා.
එයාගේ දෙමව්පියෝ කැමති වේවිද..?
ඒක මම දන්නේ නැහැ. ඒ කෙල්ලගේ ජීවිතේ විනාශ වුණේ මම නිසා. මගේ ඉක්මන්කමයි මේ සේරටම මුල. මොකක් වෙලාද කියන්න දන්නේ නැහැ. සමීරා පිච්චිලා.
අර එදා තිබුණු ලස්සන දැන් නැතිලු. මුහුණ විරූපී වෙලාලු. මට හරි දුකයි ඒ ගැන.
මම හිතාගත්තා මෙතැනින් එළියට ගියාම කවුරු අකමැති වුණත් එයාව මං බාරගන්නවා කියලා. මගේ පුතාත් දැන් ලොකුයිලු.
මම දැන් බලාගෙන ඉන්නේ කවදාද මම නිදහස් වෙන්නේ කියලා.