කොළඹ පුරහල ප්‍රදේශයේ වජිරා නෙත්තිකුමාරට අයත් ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය ප්‍රසිද්ධ සූදු පොළ ඊයේ (08) පස්වරුවේ 07 වන වරටත් පොලිසිය විසින් වටලනු ලැබුවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ එහිදී සැකකරුවන් 34 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි. ඒ අතර සූදුවට පැමිණි සැකකරුවන් 26 දෙනෙකු සහ එක් සැකකාරියක් වන අතර, අනෙක් 07 දෙනා එහි සේවකයන්.
මෙම සූදු පොළ මීට පෙර අවස්ථා 06 කදී වටලා සැකකරුවන් 222 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම වැටලීම සිදුකළ කොළඹ සංවිධානාත්මක අපරාධ විමර්ෂණ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් 17 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම්ද ලබා දුන්නා. පසුව සූදු පොළ පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලේ හිමිකාරිය වන වජිරා නෙත්තිකුමාරට එරෙහිව නඩු ගොනු කෙරුණේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේයී. ඒ, දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොවී සූදු පොළක් පවත්වාගෙන යාමේ චෝදනාව මතයි. අදාළ නඩුව කොළඹ - කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන අතර, කොම්පඤ්ඤවීදිය පොලිසිය සඳහන් කළේ සැකකාර වජිරා නෙත්තිකුමාර තවමත් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත සිටින බවයි.