පසුගිය 22 වනදා කහටගස්‌දිගිලිය බස් නැවතුම්පළේදී වයස 17ක පාසල් සිසුවියකට හොරෙන් ඇයගේ හිසෙන් පහළ ශරීරයේ කඳ කොටසේ පමණක් ඡායාරූප ලබාගත් බව කියන චෝදනාවක් සම්බන්ධයෙන් නාවික හමුදා සෙබළකු කහටගස්‌දිගිලිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම සිද්ධිය පිළිබඳව සිසුවිය විසින් පොලිසියට කළ පැමිණිල්ලක් මත සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර කහටගස්‌දිගිලිය, අඹගහවැව ප්‍රදේශයේ පදිංචි එම සිසුවිය පෞද්ගලික උපකාරක පංතියකට සහභාගිවීම සඳහා බස් රථයක් පැමිණෙන තුරු බස්‌නැවතුම්පළේ රැඳී සිටියදී සැකකරු ඇයට හොරෙන් ඇගේ ඡායාරූප ලබාගෙන ඇති බව පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබෙනවා.
මඩකලපුව, වෙන්නිලයිකර්නි ප්‍රදේශයේ නාවික හමුදා කඳවුරක සේවයෙහි නියුතු සැකකරු කහටගස්‌දිගිලිය, රත්මල්ගහවැව ප්‍රදේශයේ පදිංචි විසිඅට හැවිරිදි වියේ පසුවන්නෙකි.
ඔහු නිවාඩු ලබා නිවසට පැමිණ සිටින අතරතුර මෙසේ එම සිසුවියගේ ඡායාරූප ලබාගෙන ඇත.
මේ අනුව බාල වයස්‌කාර ගැහැනු ළමයෙකුට මානසික කම්පනයක් ඇතිවන පරිදි රහසිගතව ඇගේ ඡායාරූප ගෙන අඩන්තේට්‌ටම් කිරීම යන චෝදනා යටතේ පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
වෙනත් තරුණියකගේ ඡායාරූපයක හිස කොටස සහ පැමිණිලිකාරියගේ කඳ කොටස එකට බද්ධකොට සම්පූර්ණ රුවක් සකසා අන්තර්ජාලයේ මුහුණ පොතට හෝ වෙනත් සමාජ වෙබ් අඩවි හරහා සිසුවිය අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් ප්‍රචාරය කිරීමට සැකකරු උත්සාහ කළේද යන්න පිළිබඳව පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක බව දැනගන්නට ලැබේ.