මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව විරෝධතාවක නිරත සරසවි සිසුන් පිරිසකට සහ දඹුල්ලේදී පොලීසියට විරෝධය පළ කළ ක්‍රීඩාලෝලීන් පිරිසකට අද පොලීසිය කඳුලූ ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළා.
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සහ තවත් ශිෂ්‍ය සංගම් කිහිපයක් සංවිධාන කර තිබූ විරෝධතා පාගමනට පොලිසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කළේ කොල්ලූපිටිය මංසන්ධියේදියි.
අද දහවල් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසලින් ආරම්භ කළ මෙම පාගමන සඳහා අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවද එක්ව සිටියා.
සරසවි සිසුන්ගේ පාගමන එතැන් සිට විජේරාම මංසන්ධියට පැමිණ හයිලෙවල් මාර්ගය ඔස්සේ කොළඹ දෙසට පැමිණෙන අතරතුරදී හයිලෙවල් මාර්ගයේ හටගත්තේ දැඩි රථවාහන තදබදයක්.
පාගමන අතරතුර මිරිහාන පොලිසියේ නිලධාරීන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝගයක් සිසුන්ට ලබාදීමට කටයුතු කළත්, ඔවුන් එය භාර ගත්තේ නැහැ.
මහජන පීඩා අවම වන පරිදි පාගමනේ නිරත වන ලෙස දන්වමින් අධිකරණය එම නියෝගය ලබා දී තිබුණා.
හයිලෙවල් මාර්ගය ඔස්සේ පැමිණි ඔවුන් තුන්මුල්ල මංසන්ධිය පසුකරමින් ගාලූ පාරට පිවිසි අතර, බම්බලපිටිය හරහා ඔවුන් කොල්ලූපිටිය දෙසට ගමන් කළා.
කොල්ලූපිටිය මංසන්ධියෙන් ඔවුන් අරලියගහ මන්දිරය දෙසට පිවිසීමට උත්සාහ කිරීමත් සමඟයි පොලිසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේ.
මේ අතර ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර දඹුල්ලේ පැවැත්වෙන හතරවන එක්දින තරඟය නැරඹීමට ප්‍රවේශපත්‍ර නොලැබුණු බව පවසමින් ක්‍රීඩාලෝලීන් පිරිසක් විරෝධතාවයේ යෙදීමත් සමඟ දඹුල්ලේ අද උණුසුම් තත්ත්වයක් හටගත්තා.
ඔවුන් කුරුණෑගල - දඹුල්ල ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරතවූ අතර, පසුව තත්ත්වය පාලනය කිරිම සඳහා පැමිණි පොලිස් නිලධාරීන්ට ගල්මුල් ප්‍රහාරයක්ද එල්ල කළ බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.
පිරිස විසුරුවා හැරීමට පොලීසිය කඳුලූ ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර ඇති අතර අනතුරුව ඔවුන් විසිර ගිය බව දඹුල්ල පොලීසිය කියා සිටියා.VIDEO