ව්‍යාජ ලේඛන සකස් කොට ඉන්දීය ගමන් බලපත්‍ර ලබාගෙන එරට රජයෙන් සහනාධාර ලැබූ ශ්‍රී ලාංකික දෙමළ යුවළක් තමිල්නාඩුවේ කොයිම්බතූර් හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම යුවළ ඔවුන්ගේ දරුවන් දෙදෙනාද සමඟ මදුරෙයි ගුවන් තොටුපලෙන් ශ්‍රී ලංකාව බලා පැමිණීමට උත්සාහ කරද්දී ඔවුන් පිළිබඳ සැකයක් ඇතිවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
වයස අවුරුදු 29 ක් සහ 27 ක් වන මෙම යුවළ ප්‍රකාශ කර ඇත්තේ තමන් තමිල්නාඩුවේ තිරුපූර් හි උපත ලැබූවන් බවයි.
ඔවුන්ගේ දියණිය පෞද්ගලික පාසලක නේවාසිකාගාරයක නැවතී අධ්‍යාපනය ලබා ඇති බව සඳහන්.
කෙසේ නමුත් මෙම යුවළ පිළිබඳ තමිල්නාඩු පොලීසිය සිදුකළ පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ ඔවුන් ශ්‍රී ලංකාවේ පුත්තලම් දිස්ත්‍රික්කයේ තිල්ලියාඩි ගම්මානයේ පදිංචිව සිටි අය බවයි.
2011 වසරේදී සංචාරක වීසා මත ට්‍රිචි හරහා ඉන්දියාවට පැමිණියද නැවත ශ්‍රී ලංකාවට පැමිණ නැහැ.
ඔවුන් තිරූපූර් ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන රෙදිපිලි ව්‍යාපාරයක නිරතවී ඇති අතර, පසුව චෙන්නායි නුවරට පැමිණ එහිද වසරක් සිටි බව පොලීසිය අනාවරණ කරගෙන තිබෙනවා.
ව්‍යාජ ගමන් බලපත්‍ර ලබාගැනීමෙන් පසු ඔවුන් ඉන්දීය රජය මගින් ලබාදෙන සහනාධාර ලබාගත හැකි සලාක කාඞ්පත්ද හිමි කරගැනීමට සමත්වී ඇති බවයි වාර්තාවන්නේ.
ව්‍යාජ ලේඛන මත ඔවුන් නිවසක්ද මිලදී ගෙන ඇති අතර, බැංකු ගිණුමක්ද පවත්වාගෙන ගොස් ඇත්තේ ව්‍යාජ ලේඛන භාවිතා කරමින්.
පසුගිය බ්‍රහස්පතින්දා අත්අඩංගුවට ගැනුනු මෙම ශ්‍රී ලාංකික යුවළට එරෙහිව ඉන්දීය අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ සහ ඉන්දීය ගමන් බලපත්‍ර පනත යටතේ නඩු පැවරීමට පියවර ගෙන ඇති බව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත අනාවරණ කළා.