තම කිරිකැටි දියණිය සහ බිරිඳ ඝාතනය කර නිවස මැද වළ දමා තමා ද එල්ලී මැරීමට සැලසුම් කළ පුද්ගලයෙකු බණ්ඩාරගම - මිල්ලනිය - බැල්ලන්තුඩාව - ගැමුණු මාවතේ දී පසුගිය (28) අත්අඩංගුවට ගෙන තිබෙනවා. 47 හැවිරිදි මෙම පුද්ගලයා ස්ථීර රැකියාවක නියුතු අයෙකු නොවන අතර, පවුල් ආරවුලක් මෙම උත්සාහයට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.
පසුගිය 27 වැනිදා රාත්‍රියේ නිවසේ දොරගුළු දමා, සිය බිරිඳට තර්ජනය කරමින් මෙම පුද්ගලයා නිවස මැද වළක් හාරා තිබෙනවා. අඩි 6ක් පමණ දිග, අඩි දෙකක් පමණ පළල මෙම වළ අඩි දෙක හමාරක් පමණ ගැඹුරට කපා තිබූ බවයි එහි ගිය අප වාර්තාකරු පැවසුවේ. මීට අමතරව සැකකරුගේ නිවසේ මෙට්ටයක් යට සඟවා තිබූ කඩුවක් ද පොලීසිය විසින් සොයා ගෙන තිබෙනවා.
කුඩා දියණියේ වයස මාසයකුත් දින 7ක් වන අතර බිරිඳ 42 හැවිරිදි වියේ පසුවනවා. ඇය අද උදෑසන සැමියාට පවසා ඇත්තේ දියණියගේ රෙදි සේදීමට නිවසින් බැහැරට යා යුතු බවයි. කිරිකැටි දියණිය නිවසේ දමා ලද ඇසිල්ලෙන් බැහැරට ගිය බිරිඳ පොලීසියට සිද්ධිය පැමිණිලි කිරීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් පැමිණ සැකකරු අත්අඩංගුවට ගත්තා.
වසර දෙකක් පමණ මෙම යුවළ අදාළ නිවසේ ජීවත් වුවත් විවාහ වී ඇත්තේ මීට මාස 6කට පමණ පෙරයි. මෙම කාන්තාව මීට පෙර විවාහ වී සිටි අයෙක් වන අතර එම විවාහයෙන් ඇයට දරුවන් දෙදෙනෙකු සිටින බව සදහන්.
පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ප්‍රකාශ කර ඇත්තේ තමා දරුවා ඝාතනය කිරීමට උත්සාහ නොකළ බවයි. තමන් සියදිවි නසා ගැනීමට පමණක් එහිදී උත්සාහ කළ බවයි සැකකරු සඳහන් කර ඇත්තේ.