උදයෙන්ම නැගිටගෙන දළුවත්තෙ දළු නෙලංහවසටත් කහටමයි බඩට නෑ හරි යමක්දවල් දුන් පාන් ඇත කඩදහියෙ මට ඔතංදහදියම නුඹ හැළුවෙ මගෙ දිවිය සරු කරං
''මගේ පුතා කැම්පස්'' කියලා හිතේ සතුටින් කටපුරා කියන්න මොන දෙමව්පියෝද අකමැති...!! ඒ හීනේ හැබෑ කරගන්න එක ලේසි වැඩක් නෙවෙයි, ඉගෙන ගන්න දරුවෝ වගේම දෙමව්පියනුත් ඒ වෙනුවෙන් ගොඩක් දේවල් කැපකරනවා.
මේ කියන්න යන්නෙත් ඒ වගේ කතාවක් ගැන, ඔහු නමින් වසන්ත් ආරුමුගන්. ජීවත් වෙන්නේ ගල්කිස්සේ. ඔහුට මේ ළඟදි දවසක උපාධිය හම්බවුණා. ගොඩක් කැපකිරීම් කරලා තමයි ඒ තැනට ඔහු ඇවිත් තියෙන්නේ.
ඔහු ෆේස්බුක් දාලා තිබුණු කතාවේ හැටියට ඔහුට උදව් කරලා තියෙන්නේ අත්තම්මා. ඇය තමයි තේ දළු කඩලා හුඟක් දහඩිය වගුරුවලා වසන්ත් ට ඉගෙන ගන්න උදව් කරලා තියෙන්නේ.
ඇයගේ හිතේ තිබුණු ඒ අහිංසක බලාපොරොත්තුව ඉෂ්ටකලාට පස්සේ කරපු කැපකිරීම් ගැන ඔහු අපූරු පදපෙලකින් හැමෝගෙම ඇස්වලට කඳුළු එන කතාවක් කියලා තිබුණේ මේ විදියට....
දර ලිපේ මැටි වළඳෙ බත් පතක් ඉදෙනකං
දුම් බටෙන් පිඹ පිඹා ඇන තියං ඉන්නකං
එකම පොල් සම්බලත් රහයි මහ මෙර තරං
මතකයෙන් නම් නොයයි මගේ පන තියෙනකං
උදයෙන්ම නැගිටගෙන දළුවත්තෙ දළු නෙලං
හවසටත් කහටමයි බඩට නෑ හරි යමක්
දවල් දුන් පාන් ඇත කඩදහියෙ මට ඔතං
දහදියම නුඹ හැළුවෙ මගෙ දිවිය සරු කරං
ඉගෙනගෙන තිබුනෙ නෑ හය හතර ලියන්නට
වෙහෙසුනේ උගන්වා ලොකු එකෙක් කරන්නට
බැරි වුනත් කුසේ ඔබෙ ලොව එළිය දකින්නට
ඇති වුනා පිං මහිම ඔබෙ සුවය විඳින්නට
මගේ මේ අතදරන සැබෑ වූ සිහිනයයි
මගේ නම ලියැවිලා එහි කොනක අද තියෙයි
උරුමයෙන් එය ඔබට නියම හිමිකරු ඔබයි
තුටු කඳුළු ගැළුවහැටි මැවි මැවී තව පෙනෙයි
අත්තම්මෙ ඔබෙ කුසේ ඉපදෙන්න බැරිවුනා
මතුබවේ පතනවා ඉපදෙන්න හිත් දරා
මගෙ ආයු ගෙන ඉන්න තව කලක් මතු පුරා
අම්මලත් නැතුව ඇති ඔබ තරම් ලොව පුරා...
( අද මගේ අත දරන මගේ මේ සැබෑ වූ සිහිනයේ නියම හිමිකාරිය,,, මගේ ආදරණීය අත්තම්මාට උපහාර වේවා. දීර්ඝායුෂ ලැබේවා රත්තරං අත්තම්මේ )