ඒ දවස් වල නිදහසේ ගමනක් යනවනං ඉතිං කෝච්චිය තරම් වාහනයක් නෑ. හැබැයි දැන් බස් ටිකට් එකට වඩා කෝච්චි ටිකට් එකේ ගාණ අඩු නිසා යනවා මිසක්, ඉස්සර වගේ නිදහසේ කෝච්චියෙ යනවා කියන එක නම් විහිළුවක්.මොකද කෝච්චිය ගැට කපන්නන්ගේ පාරාදීසයක් වෙලා. ඩ්‍රයිවර් නැතුව කෝච්චි ඉබේ යන මේ කාලේ ඕක මොකද්ද කියලා හිතුනත් හෙට මේ දේ ඔබටත් වෙන්න පුළුවන් නිසයි දැන්ම කියන්නේ.
වේලාව අද පෙරවරු 11.05ට.තැන රාගම ස්ටේෂන් එක.
"3 වන වේදිකාවට දැන් පැමිණි දුම්රිය රඹුක්කන බලා පිටත් වේ. රඹුක්කන දක්වා ඇති සෑම .... " කියලා ඇහෙද්දිම ඊට වඩා සද්දෙන් ‘හොරෙක්, හොරෙක් ‘ කියලා කෑ ගැහිල්ලක් ඇහෙන්න ගත්තා. විමසිල්ලේන් බලද්දි 3 වෙනි වේදිකාවේ හිටපු මගීන් අතරින් හැඩි දැඩි සිරුරක් ඇති පිරිමි කෙනෙක් ඉදිරියට දුවගෙන් එනවා. ඔහු පස්සෙන් 25ක් විතර එලවගෙන එනවා.
‘මුන්ට පිස්සු‘ කියලා කෑ ගහගෙන දිව්වත් රාගම ත්‍රීවීල් පාර්ක් එකේ කොල්ලෝ ටික පොර බදලා ඔහුව පෙරල ගත්තා. තත්පර 2ක 3ක් යන්න ඇති, 30ක් විතර ඒ පුද්ගලයාව වට කර ගත්තා. ඒ අය අමාරුවෙන් අර මනුස්සයව ස්ටේෂන් එකේ දුම්රිය සේවකයන්ගේ කාමරේට අරන් ගියා. අමාරුවෙන් සෙනග අතරින් රිංගලා ඒ කාමරේ දොරකඩ ගාවට ගියාමයි දැන ගත්තේ අල්ලා ගත්ත පුද්ගලයා ඇත්තටම පිට් පොකට්කාරයෙක් කියලා.වයස 60 ක් පමණ වු පුද්ගලයෙකුගේ පර්ස් එකට විද්දට ඒ බව තේරුණු අයිතිකරුවා කෑ ගහපු නිසා අද ඔහු අතේ මාට්ටු වුණා. විනාඩි 5ක් යන්නත් කලින් රාගම පොලිසියේ නිලධාරීන් දෙපලක් මෙතනට ආවා.
ඊට පස්සේ ඇති වුණ තත්වය වීඩියො කරන්න අපිට පුළුවන් වුණා. පර්ස් එකේ අයිතිකරු තමන්ගේ පර්ස් එක හොරා උස්සපු විදිහත් මේ අතරෙ පොලීසියට විස්තර කරා. මේ ඒ දර්ශණ.
කොහොම වුණත් ඊට පස්සේ මේ පොකට් හොරාසහ පර්ස් එකේ අයිතිකරු පොලිස් ජීප් එකෙන් රාගම පොලිසීයට අරං ගියා.
මේ වගේ කරදරයක් වුණාම අපේ අය ඉන්නේ ඩෝං ගිහිංනේ. හැබැයි මහත්මා පෙනුම කතාවේ වගේම පෙනුමෙත් තිබුණු නිසා පර්ස් එකේ අයිතිකරුගෙන් පොලිසියට යන්න කලින් අපි විස්තර ඇහුවා.
“ මගේ නම නම් අහන්න එපා. මං ඕස්ට්‍රේලියාවෙ ඉදලා ආවේ. මහන්සියක් නැතුව නිදහසේ අවුරුද්දට නෑ ගෙවල් වල යන්නයි කෝච්චියේ යන්න ආවේ, මේ ලොකු බෑග් එකකුත් උස්සගෙන. මේ මනුස්සයා මගේ පර්ස් එක අරගන්නවා මට තේරුනා. මං බය නැතුව කෑ ගැහුවා. මොකද අද මං සද්ද නැතුව හිටියා නම් ඊලග දවසේ ආයිත් මෙයා මේකම වෙන කෙනෙක්ට කරයි. ලොකු දෙයක් මේ වුණේ “
එහෙම කියපු ඔහු පොලිස් ජීප් එකේ නැග්ගා. කොහොම වුණත් ඕස්ට්‍රේලියාවෙ ඉදලා නිදහසේ නෑ ගම් යන්න ආ ඔහුට තව පැය දෙක තුනක් රස්තියාදු වෙන්න වේවි.
කෝච්චියේ යන ඔබත් දැන් ඉතිං කල්පනාවෙන් යන්න. හැබැයි අමතක කරන්න එපා කරදරේක වැටුණ කෙනෙක්ට උදව් වෙන්න ඕන තරම් අය මේ සමාජයේ ඉන්නවා ආයි දෙක්ක නෑ.ඒක අද තව තවත් ඔප්පු වුණා ...