ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ, නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායකගෙන් සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලූත්ගමගේ ගෙන් රුපියල් මිලියන 500 බැගින් වන්දි මුදලක් ඉල්ලා එන්තරවාසියක් යවා තිබෙනවා.
ඒ මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ හිමිකරුවෙකු නොමැතිව නතර කර තිබූ ඩෙෆෙන්ඩර් රථයක් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේට අයත් බවට ඊයේ සිදුකළ චෝදනාව සම්බන්ධයෙන්.
ඊයේ මහින්දානන්ද අලූත්ගමගේ මන්ත්‍රීවරයාගේ ඥාති සොහොයුරෙකු වන ආනන්ද අලූත්ගමගේ සමග එහි ගිය නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක ව්‍යාජ අංක තහඩු සහිත අදාළ ඩිෆෙන්ඩර් රථය මහින්දානන්ද අලූත්ගමගේ අමාත්‍යවරයෙකු ලෙස සිටි කාලය සමයේ භාවිතා කළ එකක් බවට චෝදනා කළා.
කෙසේ වෙතත්, ඒකාබද්ධ විපක්ෂය අද කැදවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ ඊට ප්‍රතිචාර දක්වා සිටියා.
ඔහු කියා සිටියේ අදාළ ඩිෆෙන්ඩර් රථය ක්‍රීඩා අමාත්‍යාංශයට අයත් එකක් බවයි.
කෙසේ වෙතත්, මෙම සිද්ධියෙන් තමන්ට සිදුවූ අපහාසයට වන්දි ඉල්ලා නියෝජ්‍ය අමාත්‍යවරයාට සහ මන්ත්‍රීවරයාට අද දිනයේ අදාළ එන්තරවාසිය යොමුකළ බව මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ සදහන් කළා.
ඊයේ (21) පාර්ලිමේන්තු සංකීර්ණයේ ප්‍රභූ සෝපනය අසලදී මහින්දානන්ද අලූත්ගමගේ සහ නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක අතර ගැටුමක් ද හට ගත්තේ මෙම සිද්ධිය මුල් කරගෙනයි.